hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 15, පෙ.ව. 7:16



2021-2022 වර්ෂය සදහා වු ශ්‍රිපාද වන්දනා වාරය (17) දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවා.

ශ්‍රිපාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවති රැස්විමකදි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බව සඳහන් කළා.

අද (15) සහ හෙට (16) යන දෙදින ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමට හැකි බවත්, (17) දින දහවල්  ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය ලක්ෂපාන කළුගල යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ  පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කරන බවයි.

ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ එදින පැවැත්වෙන චාරිත්‍රානුකුල ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ සිට වැඩම කරන ලද සධාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තබන බවයි.

2021-2022 ශ්‍රි පාද වන්දනා වාරය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් සහ මාධ්‍ය ආයතනවල සහයෝගය ඇතිව සාර්ථකව සිදු කිරිම හැකියාව ලැබුණු බවත්, එම කාලය තුල ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් උපරිම අයුරින් ලබාදිමට පියවර ගත් බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් පැවසුවා.