hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 23, පෙ.ව. 10:42



මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මාස 3කට ආසන්න කාලය තුළ වන්දනාකරුවන් විසින් දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් 8කට ආසන්න ප්‍රමාණයක් නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ, ශ්‍රී පාද රක්ෂිතයට හා පරිසරයට මුදා හරිනු ලැබ ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම් සිවරාම් රාජවීරන් මහතා පැවසුවා.

ඉකුත් සති කිහිපය තුළ ශ්‍රී පාදස්ථානය වෙත නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයෙන් ලක්ෂ 5කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගය දෙපස දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් ගණනක් ශ්‍රී පාද රක්ෂිතයට හා පරිසරයට බැහැර කර තිබෙන අයුරු දක්නට ලැබුණු බව වාර්තා වෙනවා.

නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ දිරා නොයන ඝන අපද්‍රව්‍ය හා කැළි කසළ ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම් සිවරාම් රාජවීරන් මෙසේ ද සඳහන් කළා,

“ශ්‍රී පාදස්ථානය හා එහි ස්වාභාවික රක්ෂිතය ලෝක උරුමයක්. ශ්‍රී පාද පුදබිම පිහිට තිබෙන්නේ අතිශය වටිනා පරිසර පද්ධතියක. කැළි කසළ හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය පුදබිම වෙත රැගෙන නොඑන ලෙස ත්, රැගෙන එන දිරා නොයන ඝන අපද්‍රව්‍ය ක්‍රමවත්ව, පරිසර හිතකාමී ලෙස බැහැර කරන ලෙස ත් අපි නිරන්තරයෙන් වන්දනාකරුවන් දැනුවත් කරනවා. මාධ්‍ය මගින් අපිට ඒ සඳහා විශාල අනුග්‍රහයක් ලබා දෙනවා.

නමුත් බොහෝ වන්දනාකරුවන් පැමිණ ඒ උපදෙස් නොපිළිපදිමින් මෙම වටිනා පුදබිම හා පරිසර පද්ධතිය කිලිටි කර නැවත ගම්බිම් බලා යනවා. ජාතික සම්පත් විනාශ කිරීමට ඒ අය අනියම් ලෙස දායක වෙනවා. එය කණගාටුවට කරුණක්. මස්කෙළිය ප්‍රාදේශීය සභාව ශ්‍රී පාද පුද බිමේ කැළිකසළ හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය වන්දනා සමයේදී ඉවත් කිරීම සඳහා මිලියන ගණනක් වැය කරනවා. එය ප්‍රාදේශීය සභාවට දරා ගන්න බෑ. මේ වටිනා පුදබිම හා රක්ෂිතය මතු පරපුරට ඉතිරි කර දීමට දායකත්වය ලබා දී ඇති උපදෙස් අනුව දිරා නොයන ඝන අපද්‍රව්‍ය, බැහැර කරන ලෙස අපි වන්දනාකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.”