hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 05, පෙ.ව. 11:42



මෙවර ශ්‍රී  පාද වන්දනා සමය අද (05) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වෙනවා.

ශ්‍රී පාද වන්දනාවාරය අවසන් කරමින් සිරිපා උඩ මළුවේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමා සහ සධාතුක කරඬුව හෙට (06) පැල්මඩුල්ලට වැඩම කරවන බව ශ්‍රී  පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූවා.

ශ්‍රී  පාදස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා පාගමනින්ද එතැන් සිට විශේෂයෙන් සැකසූ දේව රථ යොදා ගෙන සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරස්ථානය වෙත වැඩම කිරීමට නියමිතයි.

මැයි 06 වැනිදා රාත්‍රි 9 සිට පසුදින එනම් 07 වැනිදා දහවල් දෙක දක්වා පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේදී සමන් දේව ප්‍රතිමා සඳහා පූජෝපහාර දැක්වීමට බැතිමතුන්ට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූවා.

ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමා සහ සධාතුක කරඬුව පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරයේ සිට පෙරහරකින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී  පාද රාජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු කෙරෙන බවද සිරිපා වන්දනා සංවිධායක කමිටුව පවසනවා.

සිරිපා අවාරය යෙදෙන වෙසක් පොහොය සිට එළැඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දින දක්වා සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ සිරිත් පරිදි පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී  පාද රාජමහා විහාරස්ථානයේ විශේෂ දේව මන්දිරයේ තැන්පත් කර තිබෙන බවත් යළි සමන් දේව ප්‍රතිමා පිටතට වැඩම කරවනුයේ මීළඟ සිරිපා වන්දනා සමය ආරම්භ කෙරෙන ලබන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනට කලින් දින පමණක් බවත් ශ්‍රී  පාදස්ථානාධිපති නාහිමියෝ පැවැසූවා.

මෙවර සිට අවාරයේ ශ්‍රී  පාද වන්දනා කිරීම සීමා කරන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයිද එමඟින් ශ්‍රී  පාද වන්දනාවේ පූජනීයත්වය ආරක්ෂා කිරීම සිදු වෙනු ඇතැයි ද ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ පැවැසුවා.