hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 28, ප.ව. 3:25



වර්තමානයේ රට තුල උද්ගත වී ඇති අර්බුධකාරී තත්වයට විරෝධය දක්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ක්ෂේස්ත්‍ර වල වෘත්තීය සමිති 1000කට අධික ප්‍රමාණයක් අද දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා.

ඊට අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු සහ වෙළඳ කලාප ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පිරිස් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

අප ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් බොහෝ ක්ෂේස්ත්‍රවල කටයුතු වලට අද පෙරවරුවේ සිටම එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අසළ වෙනත් දිනවල බොහෝ කාර්යබහුල ප්‍රදේශයක්.

අද එහි ඉතාමත් පාලු ස්වභාවයක් ගෙන ඇති බවයි ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ.

සේවකයින් සුළු පිරිසක් සේවයට වාර්තා කළත් ඔවුන්ද වර්ජනයට සහය දක්වමින් පිට ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් කාර්යාල කටයුතු අකර්මන්‍ය වී ඇති බවයි වාර්තා වන්නේ.

පොදු ප්‍රවාහන ක්ෂේස්ත්‍රය පෙරවරු කාලයේදී සාමාන්‍ය ධාවන මට්ටමක් දැක ගැනීමට හැකියාවක් ලැබුණා.

විශේෂයෙන් වෙනදාට වඩා පොදු ප්‍රවාහනය භාවිතයට ජනතාව වැඩි වශයෙන් නැඹුරු වී ඇති බවත් බස් රථ වල ජනතාවගේ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

එයට දුම්රිය වර්ජනය ද බලපා තිබෙනවා.

අද දිනයේ ගාල්ල දුම්රිය ස්ථානයට කිසිදු දුම්රියක් පැමිණ හෝ මෙම ස්ථානයෙන් දුම්රියක් ධාවනය වී නැහැ.

ගාල්ල දුම්රිය ස්ථානය මගීන්ගෙන් ශුන්‍ය වී ඇති බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල නගර මධ්‍යයේ කළු කොඩි එසවීමක් දැක ගැනීමට හැකි වූ බවයි ඒෂියන් මිරර් දඹුල්ල වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල නගරයේ පස්වරුව වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතුණ අතර රාජ්‍ය ආයතන බොහොමයක සේවක සේවිකාවෝ විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවද වාර්තා වෙනවා.

දඹුල්ල රෝහල, තැපැල් කාර්යාලය ආදී රාජ්‍ය ආයතන සේවක සේවිකාවෝ මෙම විරෝධතාවයට සෘජුව සම්බන්ධ ව සිටීම විශේෂත්වයක්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් එහි සේවකයෝ ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අයුරු ද දැක ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

අනුරාධපුර නගරයේ ඔරලෝසු වටරවුම අසළ අද දින සියලුම බැංකු නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග වල නියැලී සිටි බව ඒෂියන් මිරර් අනුරාධපුර වාර්තාකරු සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ රාජකාරි සඳහා වාර්තාකරණ බවට සේවකයින් පවසා තිබුණද ඔවුන් නොපැමිණීම නිසා දුම්රිය වාර සුළු ප්‍රමාණයක් පමණක් ධාවනය වන බවයි.

කෙසේවෙතත් කටුනායක ගුවන්තොටුපලේ අද පෙරවරුවේ සිට සාමාන්‍ය තත්වයක් දැක ගත හැකි වූ බවයි ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ අතර එයට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වී සිටිය බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද දින තම කර්මාන්තශාලා තුළ සේවය නොකරමින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක් වී සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මොවුන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්වීමට කටුනායක ඇවරිවත්ත නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා තිබුණා.