hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 06, පෙ.ව. 9:29



බාප්පා විසින් එල්ල කරන ලද මන්නා පහරකින් වෙන්ව ගිය තරුණියකගේ වම් අත කෑගල්ල මහ රෝහලේදී සිදු කෙරුණු පැය 4ක සැත්කමකින් පසුව සාර්ථකව බද්ධ කරනු ලැබුවා.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කෑගල්ල, අලපලාවල, නීලපලාගම්මන ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් අත සාර්ථකව බද්ධ කිරීමේ සැත්කම ඊයේ (05) සිදු කෙරුණා.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණියගේ පියා හා බාප්පා අතර කාලයක සිට ඉඩම් ආරවුලක් තිබී ඇති අතර පෙරේදා (04) රාත්‍රි 7.00ට පමණ දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබුණා.

එම අවස්ථාවේදී වැඩ නිම වී නිවෙසට පැමිණි ඇය දෙපාර්ශ්වය සමථයකට පත් කිරීමට මැදිහත් වී තිබෙනවා.

එහිදී බාප්පා විසින් එල්ල කරන ලද මන්නා පහර තරුණියගේ වම් අතේ වැළමිටෙන් පහළ කොටසට වැදී අත වෙන් වී බිමට වැටී තිබෙනවා.

පසුව වෙන්ව තිබුණු අත අසල්වැසියන් පොලිතින් උරයකට බහා අයිස් කැට ද යොදා ක්ෂණිකව තුවාලකාරිය සමග කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් රාත්‍රී 9.00 සිට ඊයේ (05) අලුයම 1.00 දක්වා පැය හතරකට ආසන්න කාලයකින් කරන ලද සාර්ථක සැත්කමකින් පසුව අත පෙර තිබූ ආකාරයට බද්ධ කර තිබෙනවා.

තුවාලකාරිය දැනට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මෙසේ ද පැවසුවා.

“මෙවැනි රෝගියෙක් අපට ලැබුණු ගමන් කරුණු දෙකක් ගැන සිතා බලන්න සිද්ධ වෙනවා. පළමු එක රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. දෙවැනි එක අවයව බේරා ගැනීමට කටයුතු සිදුකළ යුතුයි. රෝගියා රෝහලට අරන් එනකොට විශාල වශයෙන් රුධිරය පිටතට ගිහිල්ලා තිබුණා. පළමුව ජීවිතය බේරා ගැනීමට රුධිරය ලබා දීමට සිදුවුණා. එයින් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වුණා.

දෙවැනියට වෙන්ව ගෙනත් තිබුණු අත පරීක්ෂා කර බැලීමට සිදු වුණා. එහිදී කැපී වෙන්ව තිබුණු අත යළි සාර්ථකව බද්ධ කිරීමේ අභියෝගය මා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය භාර ගත්තා. පැය හතරකට ආසන්න කාලයක් බද්ධ කිරීම සඳහා ගත වුණා. මෙහිදී සියලු ම වෛද්‍ය කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගය අගය කර සිටිනවා. දැනට රෝගියා සාමාන්‍ය පරිදි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.”

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය විමර්ශන කටයුතු සිදු කරනවා.