hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2026 ජූනි 16, පෙ.ව. 9:02



ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා ඇත්තේ රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

ඒ අනුව එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අද (16) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවන බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ මහතාව විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉකුත් දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර එම පැමිණිල්ලට අනුව සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තා කර ඇත්තේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සිරමැදිරියක රඳවා තබා සිට ඇති අතර එම සිරමැදිරිය තුළට නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩු රැසක් නිරීක්ෂණය වී ඇති බවයි.

එමෙන්ම ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුවත් කිරීමටද මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන බව සඳහන්.

මේ අතර සුරේෂ් සලේ මහතා රඳවා තිබු සිරමැදිරිය ආසන්නයේ සිටි තවත් රැඳවූවන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව ද පවසයි.

එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් මේ වනවිට රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ මහතාට ලැබෙන වෛද්‍ය පහසුකම් පිළිබඳවද අවධානය යොමුකර ඇත.