hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 මැයි 22, ප.ව. 10:51



පසුගිය 09 වැනිදා රට තුල සිදුවූ කලහකාරී සිද්ධි වලදී පුද්ගලයින් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ නිසි විමර්ශනයකින් තොරව බව පෙනී ගොස් ඇතැයි නිතිඥ සුසන්ත දොඩාවත්ත මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් අද(22) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ ඒ ප්‍රදේශවල පොලිසිවලින් විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රාදේශීය අධිකරණවලට ඉදිරිපත් කර තිබෙන බවත් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවෙස්වලට පහරදුන් බවට චෝදනා කරමින් අධිකරණවලට ඉදිරිපත් කරන අය වෙනුවෙන් අපි බෝහෝ නඩුවලට පෙනීසිට තිබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

දොඩාවත්ත මහතා කියා සිටියේ එහිදී පෙනී ගියේ අදාළ පොලිසිවලින් නිසි විමර්ශනයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අරලියගහ මන්දිරයට 09වැනිදා ගිය බවට වීඩියෝ සාක්ෂි තිබෙන ප්‍රාදේශීය දේශපාලනඥයන් පොලිසියට පැමිණිලිකර තිබෙන්නේ එදා සවස 4.00ට තම නිවාසවලට ප්‍රහාර එල්ලවන අවස්ථාවේ නිවසේ රැඳීසිටි බවත් ඔවුන් එසේ පැමිණිලි කරද්දී කිසිදු පදනමකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල යෙදුනු අයගේ නම් පොලිසිවලට ලබාදී තිබෙන බවත් ඔහු අවධාරණය කරනවා.

මේ තත්වය විශේෂයෙන් හෝමාගම, කැස්බෑව සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලදී දැකගන්න තිබූ බවත් මේ හරහා ආණ්ඩුව ඉතා සැලසුම් සහගතව ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය මේ ප්‍රහාරවලට සම්බන්ධ බවට ප්‍රවෘත්ති නිර්මාණය කරන බවටයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

බොහෝ අධිකරණවල ඉන්න මහේස්ත්‍රාත්වරුන් ඉතා මධ්‍යස්ථව කරුණු සලකා බලා මුල් අවස්ථාවේදීම ඇප ලබාදී තිබෙනවා. ඇතැම් පොලිසි කිසිදු සාධාරණ පදනමකින් තොරව අත්අඩංගුවට ගෙන ඇති  අය හඳුනාගැනීමේ පෙරෙට්ටුවලට ඉදිරිපත් කරන්නත් කටයුතු කර තිබෙනවා. ඒ හරහා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ දිගටම තබා ගන්න උත්සාහ කරනවා.” හෙතෙම ප්‍රකාශ කළා.

“ඊයේ (21දා) මීගොඩ පොලිසියෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවෙක් සම්බන්ධ විස්තර තවත් උදාහරණයක්. එකම වෙළඳ සංගමයේ ආසන්න කඩ දෙකේ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් මත අනෙක් කඩයේ ව්‍යාපාරිකයාට චෝදනාකර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. පැමිණිලිකරුගේ දුවට අදාළ චූදිතයා හඳුනාගත හැකි බව සඳහන් කරමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබුණා. පොලිසිය මේ කරන අනීතික අත්අඩංගුවට ගැනීම් සහ අනීතික නඩු පැවරීම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අපි කිසිම අවස්ථාවක පසුබට වෙන්නේ නැහැ. ආණ්ඩුව තමන්ට වාසි ගන්න ඉතා පැහැදිලිව ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලනඥයන් යොදවා නම් ලැයිස්තු ලබාදෙමින් අත්අඩංගුවට ගැනීමට පොළඹවා තිබෙනවා. අපි පැහැදිලිවම එය හෙළාදකිනවා. “ යැයි දොඩාවත්ත මහතා වැඩිදුරටත් පැවසුවා.