hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 12, පෙ.ව. 5:12



ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට අයත් රැමිස් (RAMIS) හා ලෙගසි (Legacy) පරිගණක පද්ධතීන්ට අදාළව සමස්ත හිඟ බදු, දඩ හා පොළී ආදායම රුපියල් කෝටි 20,140ක මුදලක් අදාළ ආයතනවලින් අය කර ගන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව අනාවරණය වෙනවා.

දේශීය ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට අදාළව අය කිරීම් තාවකාලිකව අත්හිටුවූ හිඟ බදු, දඩ හා පොළී ආදායම රුපියල් කෝටි 57,256ක් පවතින බව ත් මෙලෙස අත්හිටුවූ මුදල් පවතින ආයතන වෙන් වෙන් වශයෙන් පැහැදිලි කරන වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කර ඇත.

‘2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයැදුම් කළ තොරතුරු මගින් මේ බව අනාවරණය වී තිබෙනවා..

ඍජුව ම හෝ වක්‍රාකාරව එකතු කළ අගය මත බදු ලෙස රුපියල් කෝටි 11,635ක මුදලක් කලානුරූපීව ප්‍රේෂණය කර ගැනීමට අවශ්‍ය පියවරයන් ගෙන නොමැත.

එසේ ම, රැමිස් (RAMIS) හා ලෙගසි (Legacy) පද්ධතිවලට අදාළව රුපියල් කෝටි 249ක් වටිනා අගරු චෙක්පත් 4,831ක් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව සතුව පවතින බව ත් එයින් චෙක්පත් 3,817ක් වසර 3කට වඩා පැරණි ඒවා බව ත් අනාවරණය වුණා.

වසර දහයක් අක්‍රියව පැවැති රැමිස් (RAMIS) මෘදුකාංග පද්ධතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජනවාරි 28 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2015 දෙසැම්බර් 31 දක්වා වූ බදු කාලපරිච්ඡේදයට අදාළ බදු ලිපි ගොනු ලෙගසි (Legacy) පරිගණක පද්ධතිය යටතේ ද 2016 ජනවාරි 1 සිට රැමිස් (RAMIS) පරිගණක පද්ධතිය යටතේ ද පාලනය වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු මෘදුකාංග පද්ධතිය 2014දී ආරම්භ කොට ඒ සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් කොට ඇති නමුත් එය මේ වන විට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට ජනවාරි 24 වනි දා ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වන පාර්ලිමේන්තුවේ සිවුවන සැසිවාරය ආරම්භ කරමින් පෙබරවාරි 8 වන දා පැවැසුවේ උපයන විට ගෙවීමේ බදු මුදල් ඉවත් කරනු ලැබුවොත්, රුපියල් කෝටි 16,300ක් රටට අහිමි වන බවයි.

බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවහොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වන බවත් ඒ අනුව රුපියල් බිලියන 163ක් සම්පූර්ණයෙන් අහිමි වන බවත් හෙතෙම සඳහන් කළා.

තම රජය මෙලෙස බදු පනවනු ලබන්නේ කැමැත්තෙන් නොවන බව ත් එසේ සිදුනොකිරීම රටේ ආර්ථිකයට බරපතළ හානියක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.