hit counter

2026 ජූලි මස 06 වන සඳුදා

2026 ජූලි 07, පෙ.ව. 12:08



ඉකුත් 2023 වසරේ පැවති දකුණු පළාත් ගුරු විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නද පසුව බඳවා ගැනීම අත්හිටුවීමට ලක්වූවන් පිරිසකගේ නියෝජිතයන් ඉකුත් දින අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා ඇති බව සඳහන්.

මේ පිළිබඳව සාකච්ඡා වී ඇත්තේ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී බව වාර්තා වේ.

ඒ අනුව දකුණු පළාතේ ගුරු පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකර, එම විභාගයෙන්ම තවදුරටත් තනතුරු 704කට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.

එසේ වුවද 2025 ජූනි මාසයේ ගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් මත සියලු බඳවා ගැනීම් නතර වී තිබෙන අතර එමගින් ඉහත සම්මුඛ පරීක්ෂණයට ලක්වූ පිරිසට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව කාරක සභාවට සහභාගීව සිටි නියෝජිත පිරිස සඳහන් කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට කැඳවා ඇත. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ මේ වන විට දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 1417ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බවයි.

එසේ වුවත් අඳාළ අවසරය ඇත්තේ 2023 පැවති විභාගයෙන් පසුව පැවති තරග විභාග දෙකක් වෙනුවෙන් පමණක් බව ඔවුන් පවසා ඇති බව සඳහන්.

එමෙන්ම අවස්ථා කිහිපයකදීම මෙම පුරප්පාඩු 704 බඳවා ගැනීමට වෙනම අනුමැතියක් ලබා දෙන මෙන් ඉල්ලීම් කළද එය සාර්ථක නොවූ බව නිලධාරීන් පවසා ඇති අතර ඒ අනුව දීර්ඝ කරුණු විමසීමකින් පසුව මෙම පිරිසට සාධාරණයක් ඉෂ්ට විට යුතු බව කාරක සභාව පෙන්වා දී ඇත.

ඒ වෙනුවෙන් නිලධාරීන්ගේ පාර්ශ්වයේ යෝජනා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ඉදිරියේදී නැවතත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් දැනුම් දී ඇති බව ද වාර්තා වේ. එසේම අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට තරග විභාගයකින් තොරව ගුරු පත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට අධ්‍යාපනවේදී උපාධිධාරීන් කළ ඉල්ලීමට අනුව එම නියෝජිත පිරිසක් කාරක සභාවට කැඳවා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් නිලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු අනුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් කළමණාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කිරීමටත්, ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ‍යළි සලකා බැලීමට කටයුතු කරන බවත් කාරක සභාව දැනුම් දී ඇති බව සඳහන්.

ඊට අමතරව 2008/2009 වසරවල සේවයට බඳවාගත් පාසැල් රසායනාගාර සේවකයන් සහ පාසැල් මුරකරු පිරිසකගේ වැටුප් වර්ධක 2018 වසරේ සිට අත්හිටුවීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

එම අසාධාරණයට ලක්වූවා යැයි කියන පිරිසේ නියෝජිතයන් කාරක සභාවට කැඳවා ඇති බවත් 2018 වසරේ සිට වැටුප් වර්ධක ලබාදීම නතර කිරීමට හේතු ලෙස 2008/2009 වසරවල ඔවුන් සේවයේ පිහිටුවීමේදී දකුණු පළාත් සභාව වැරදි වැටුප් පරිමාණයක පිහිටුවා වැටුප් ගෙවීම දක්වා ඇති බවත් පවසයි.

එබැවින් අදාළ අනුමතිය ලබා දුන් නිලධාරීන්ට විරුද්ධව පියවර ගැනීම වෙනුවට වසර 10කට පසු සේවකයන්ගෙන් එම මුදල් අය කර ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

මේ අනුව මේ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දිය හැකි හොඳම සාධාරණ යෝජනා කාරක සභාවට යොමු කරන ලෙසත්, ඒ අනුව සාධාරණ විසඳුමක් ලබාදීමට මැදිහත්වන බවත් කාරක සභාව විසින් වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.

ඉන්පසු කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා විසින් කාරක සභාවේ මුලසුන හොබවන ලද අතර කැලණිය විශ්ව විද්‍යාල‍යේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ 2022 හා 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පශ්චාද් උපාධි ආයතනයේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සලකා බැලීමෙන් පසුව අනුමැතිය ලබා දීම සිදු කර ඇත.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: