hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 16, පෙ.ව. 9:59



ස්ථාන මාරුවීම් ලබා තිබියදීත් නව රාජකාරිවලට වාර්තා නොකළ ජාතික පාසල් ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට අමාත්‍යාංශ ලේකම්වරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

ඒ අනුව ලබන 19 වැනිදා වන විට ස්ථාන මාරුවීම් ලැබූ පාසල්වල සේවයට වාර්තා නොකළ හොත් ඔවුන්ගේ වැටුප් නැවැත්වීමටත් තවදුරටත් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්.රණසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකදී පොරොන්දු වූ බව සභාපතිවරයා පැවැසුවා.

එමෙන්ම එම  මාරුවීම් සිදු කළ පාසල්වලින් නිදහස් කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දීම් කර තිබියදීත් මෙතෙක් කලක් රාජකාරිය පැහැර හරිමින් කටයුතු කළ විදුහල්පතිවරුන්ටද ආයතන සංග්‍රහය අනුව කටයුතු කෙරෙන බවද හෙතෙම සඳහන් කළා.

ඉකුත් 12දා වන විට අදාළ පාසල්වලට වාර්තා කරන ලෙසට විදුහල්පතිවරුන් මඟින් අවසාන දැනුම් දීම කර තිබියදීත් එයද නොසලකා හැර කටයුතු කළ ගුරුවරුන් සිටි බව ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරනවා.

අගනුවර මෙන්ම සෑම දිස්ත්‍රික්කයකම ඉතාම ජනප්‍රිය ජාතික පාසල්වල ගුරුවරුන් මෙය සිදුකර තිබෙනවා.

ජාතික පාසල් ගුරුවරු ‍ෙදාළොස් දහසක් (12,000) මේ වසරේ ස්ථාන මාරුවීම් සිදුකර ඇති අතර ඉන් පන්සීයක් (500) අදාළ පාසලේ සේවයට වාර්තා නොකර සේවය කළ පාසලේම බලහත්කාරයෙන් රැඳී සිට තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් ස්ථාන මාරුවීම් ලැබූ පාසලේ සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව  සිදුකරන ලෙසට දන්වා තිබෙනවා.