hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 13, පෙ.ව. 10:02



නියමිත ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් ඊයේ (12) වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  කරන ලද නියෝග කඩකරමින් අගනුවර ප්‍රධාන පෙළේ පාසල් කීපයක ගුරුවරුන් තවමත් සුපුරුදු පරිදි ඔවුන්ගේ පැරැණි පාසල්වලම සේවයට වාර්තා කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන්ට මෙසේ ගුරු මාරු මණ්ඩල මඟින් ස්ථාන මාරු ලබා දුන්නද ඇතැම් ගුරුවරුන් එම මාරු නියෝගවලට අවනත නොවී කටයුතු කරන බව සඳහන් වෙනවා.

නව පාසල් වාරය පටන් ගත් ඊයේ (12) වන විට ගුරු මාරු ලද එහෙත් මෙතෙක් නව පත්වීම් ස්ථානයේ රාජකාරි භාර නොගත් ගුරුවරුන්ට රාජකාරි භාර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා ඉකුත්දා (08) කොළඹදී පැවැති රැස්වීමක් අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවා.

මේ ගුරු මාරු සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් පවතින්නේ නම් නව සේවා ස්ථානයට ගොස් පත්වීම් භාරගෙන අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙතින් අභියාචනා යොමු කරන්නැයිද ඇමැතිවරයා ඉල්ලා සිටියා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2021.12.31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023.06.12 දින වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවයි.

යම් හෙයකින් ඒ පිළිබඳව ගුරුවරයකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බවද එම නිවේදනයේ අවධාරණය කොට තිබෙනවා.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවද එහි දැක්වුණා.

එසේ තිබියදීත් තවමත් මාරුවීම් ලද අගනුවර ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක ගුරුවරුන් සිය පත්වීම් භාර නොගැනීම නීතිය බරපතළ අයුරින් නොසලකා හැරීමක් බවට ගුරු සංගම් චෝදනා කරනවා.

අධ්‍යාපන ලේකම්වරයා අවස්ථා දෙකකදී අධ්‍යාපන අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීත් ගුරු මාරුවලට අදාළ පත්වීම් භාර ගන්නා ලෙස ඉල්ලීම් කළත් ගුරුවරුන් තමන්ට අභිමත අයුරින් හැසිරීම පිළිබඳව ගුරු සංගම් සිය පිළිකුල පළ කළා.

මෙමඟින් මාරුවීම් ලබා එන ගුරුවරුන්ටද එම පාසලේ නිදහසේ සේවය කිරීමට ඇති අවස්ථාවද අහිමි වන බවට ඔවුහු චෝදනා කළා.

මින් පෙරද අවස්ථා කිහිපයකදී මේ ගුරු මාරු ක්‍රියාත්මක කිරීමට එරෙහිව අගනුවර ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට බලපෑම් කළ බවට තොරතුරු වාර්තා වුණා.