hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 05, පෙ.ව. 10:48



ඉන්ධන මිල දී ගැනීම, බෙදා හැරීම සහ ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර කවරේ ද යන්න පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වනදාට පෙර අධිකරණය වෙත්ත ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (04) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබ තිබෙනවා.

එම වාර්තාව අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් පසු ලබන 14 වනදා විවෘත අධිකරණයේ සළකා බලන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කළා.

විදුලිය, ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ජනතාවට සැපයීමේ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මීට පෙර පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණා.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි කේ.කනග්ඊශ්වරන් සහ උදිත ඉගලහේවා යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ අවධාරණය කළේ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යන්යහී පවතින අර්බුධකාරී තත්වය නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත් ව සිටින බවයි.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් සියලු‍ ක්ෂේත්‍ර කඩා වැටෙමින් පවතින බව පෙන්වා දුන් එම ජනාධිපති නීතිඥවරු මීට වගකිවයුතු පුද්ගලයන් ඒ පිළිබඳව තැකීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තත්වය තවත් උග්‍ර වී ඇතැයි ද චෝදනා කළා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මීට පෙර අධිකරණය ලබා දුන් නියෝගය පරිදි වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේ එලෙස ඉදිරිපත් කර ඇති ඇතැම් දිව්රුම් ප්‍රකාශ වල ඇතුළත් කරුණු වර්තමාන තත්ත්වයට කිසිසේත් අදාළ නොවන බවයි.

ඉන්ධන ඇතුළු පෝලිම් වලට යුද හමුදාව මැදිහත් වීම නිසා ගැටලු‍ රැසක් මතුවී ඇති බවත් මිනිසුන් විශ්වාස කරන එකම ආයතනය අධිකරණය පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එබැවින් පෙත්සම මගින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.

එහිදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමන ක්ෂේත්‍රයන්ට ද යන්න පිළිබඳව බලධාරීන්ටද අවබෝධයක් නොමැති බවයි.

බලධාරීන්ට මඟපෙන්වීම සඳහා මැදිහත්වමට නීතිපති වරයාට හැකියාව තිබෙන බවද විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරීම සහ එහිදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර කුමක්ද යන්න පිළිබඳව වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට එකඟතාවය පළ කළා.