hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 6:23



මේ වන විට දරුවන්, මව්වරුන් සහ ගර්භණී මව්වරුන් වෙනුවෙන් බෙදා හැරීමට, සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලවලට යවා ඇති ‘ත්‍රිපෝෂ’ නැවත එකතු කර ගනිමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඒ එම ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් නම් රසායනිකය අධික ලෙස අන්තර්ගත වීම නිසාවෙන් බවයි ඔහු පවසන්නේ.

සම්මතය අනුව වයස අවුරුදු 1ට අඩු දරුවන්ගේ ආහාරවල මෙම රසායනික තත්ත්වය පැවතිය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් එකක් බවත්, වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ ආහාරවල එම අගය පැවතිය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් පහක් බවත්, මව්වරුන්ගේ ආහාරවල එම අගය සඳහන් විය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් 30ක් බවත්, නමුත් මෙම ත්‍රිපෝෂ තොගයේ අඩංගු ඇෆලටොක්සීන් ප්‍රමාණය එම සම්මතයන් ඉක්මවා ඇති බවත් ඔහු අනාවරණය කරනවා.

ඒ අනුව මෙම රසායනිකය ශරීරගත වීමෙන් අක්මාව ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීම, අක්මාව හානි වීම සහ දරුවන්ගේ ශරීර වර්ධනය බාල වීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද සඳහන් කළා,

“ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රීපෝෂ නම් වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටිනවා. හදිසියේම මේ ආකාරයට ගබඩා කර ඇති ත්‍රීපෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න අපි විසින් සොයා බැලීමක් කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රීපෝෂ වල ඇෆලටොක්සීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු වී තිබෙන බවයි.

අවසනාවක තරම වන්නේ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට පසුගිය කාලයේ එවා තිබූ ත්‍රීපෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන්. එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රීපෝෂ වලින් වැඩි ප්‍රමාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක තත්ත්වයක්. අපිට තියන ප්‍රශ්නය වන්නේ වර්තමානය වන විට අප රට තුළ කුඩා දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයේ ගැටළුවක් තිබෙන බවට හදුනා තිබෙන විටත් මේ ආකාරයේ විනාශකාරී ක්‍රියාවක් සිදු කළේ කව්රුන්ද යන්න කියන එකයි.

ඇෆලටොක්සීන් නම් වූ විෂ කාරයක අඩංගු ත්‍රීපෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරන්න කැමතියි. එමෙන්ම මේ වන විට වෙළදපල තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇෆලටොක්සීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගු වී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්. කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළදපළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයින්ට එරෙහිවත් නීතිමය ක්‍රියා මාර්ග ගන්න අපි සුදානම් වී සිටිනවා.”