hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 26, ප.ව. 12:25



මාස හයේ සිට අවුරුදු තුන දක්වා වයස්වල දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩපිළිවෙළ වසරක පමණ කාලයක් තිස්සේ අඩාල වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවා.

මේ හේතුවෙන් එම වයස් කාණ්ඩවල දරුවන්ට නිසි පරිදි සිය පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

මේ තත්ත්වය වඩාත්ම තදින් බලපා ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට යැයිද හෙතෙම අවධාරණය කළා.

මවුකිරිවලට පමණක් හුරුවී සිටින ළදරුවන් ක්‍රමානුකූල අමතර ආහාරවලට හුරු වන්නේ මාස 6ක් ඉක්ම ගිය පසුව නිසා කුඩා දරුවන්ගේ කායික සහ මානසික වර්ධනය සඳහා පළමු වසර තුන තුළ ලබාදෙන ආහාර ඉතා වැදගත් බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටියා.

දරුවන්ගේ එම පරිවර්තන අවධියේදී නිසි පරිදි පෝෂ පදාර්ථ ලබාදීමට කටයුතු නොකරන්නේ නම් එය ජාතියක් වශයෙන් විශාල ඛේදවාචකයකට මුහුණපෑමට සිදු වන බවද ඔහු අවධාරණය කළා.

ග්‍රාමීය වශයෙන් පවා ආහාර උද්ධමනය ඉහළ තත්ත්වයක පවතින අවස්ථාවකදී අමතර ආහාරවලට හුරු වන දරුවන්ට නිසි පරිදි පෝෂ පදාර්ථ ලබාදීමට නොහැකි වීමෙන් එම දරුවන් අතර කායික සහ මානසික රෝග හා සංකූලතා නිර්මාණය විය හැකි බවට හෙතෙම අනතුරු ඇඟවුවා.

මෙරට ග්‍රාමීය ජන ප්‍රජාව තුළ මන්දපෝෂණ තත්ත්වය පාලනය කිරීම සඳහාද ගර්භණී සහ කිරි දෙන මවුවරුන්ද කුඩා දරුවන්ගේද පෝෂණ තත්ත්වයද වර්ධනය සඳහා පසුගිය කාලයේදී අඛණ්ඩවම ලබාදුන් ත්‍රිපෝෂද එක් හේතු සාධකයක් වූ බව ඔහු පෙන්වා දුන්නා.

ත්‍රිපෝෂ ක්‍ෂණිකව සකස් කර ගත හැකි අමතර ආහාරයක් නිසා ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල්වල දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදීමට මවුපියන්ට අසීරු වන අවස්ථාවන්වලදී යම් ප්‍රමාණයකට හෝ මතුවිය හැකි පෝෂණ ගැටලු තාවකාලිකව හෝ පාලනය කර ගැනීමට ත්‍රිපෝෂ නිසිපරිදි ලබාදීම වැදගත් යැයිද හෙතෙම සඳහන් කළා.

දැනට වසරක පමණ කාලයක සිට ත්‍රිපෝෂ සැපැයීමේ ගැටලු ඉස්මතු වී ඇති අතර ගිය කාලයේදී ත්‍රිපෝෂ අර්බුදයක් පවතින බව පෙන්වා දුන් අවස්ථාවේදී එවැනි අර්බුදයක් නැතැයි සෞඛ්‍ය බලධාරීන් පැවැසූ බවද ඔහු පැවැසුවා.

ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර සාමාන්‍ය මන්දපෝෂණ ප්‍රතිශතය 50%ක් වන බවත්, හම්බන්තොට, නුවරඑළිය, ගාල්ල, මාතර, මොනරාගල, කළුතර, අනුරාධපුර හා පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල එම ප්‍රතිශතය සියයට 50%ත් ඉක්මවන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළා.

දීර්ඝ කාලයක් නතර වී තිබූ ත්‍රිපෝෂ නිෂ්පාදනය කෙරෙහි මෙරටට ආනයනය කරන බඩඉරිඟුවල ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරක රසායනය පැවැතීම සම්බන්ධ ගැටලුද හේතුවක් විය හැකි යැයිද ඔහු පැවැසුවා.

කිරි දෙන මවුවරු, ගර්භණී මවුවරු සහ වයස අවුරුදු 3ට වැඩි දරුවන් සඳහා පමණක් ත්‍රිපෝෂ ලබාදීමට පියවර ගෙන ඇතත් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීමට වැඩපිළිවෙළක් නැතැයිද හෙතෙම චෝදනා කළා.