hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 01, පෙ.ව. 12:06



ජාතික හැඳුනුම්පත් අංකයම ටින් අංකය (බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය – TIN) ලෙස යොදා ගැනීමට යෝජනාවී තිබෙනවා.

කෙසේ වෙතත් දැනට නිකුත් කර තිබෙන ටින් අංක ලක්ෂ නවයක (900,000) අංක නැවත වෙනස් කිරීමට සිදුවීම නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ.

පසුගිය 2016 වසරේදී ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇත.

පාර්ලිමේන්තුවේ රැමීස් පද්ධතිය සකස් කිරීම පිළිබඳ පැවැති මුදල් කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ ජාතික හැදුනුම්පත් අංකයම ටින් අංකය යොදා ගන්නා ලෙසයි.

ඒ සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි අවධානයක් යොමු නොකළ බව ද සඳහන්.

2016 සහ 2017 වසර වලදී නිකුත් කරන ලද ටින් අංක 86,000 කට වැඩි සංඛ්‍යාවකට ජාතික හැඳුනුම්පත් අංකයම යොදා ගැනුනද,දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමීස් පද්ධතිය (RAMIS) පද්ධතිය සකස් කරන ලද නිලධාරීන් ටින් අංකය ලෙස ජාතික හැඳුනුම්පත් අංකයම යොදා ගැනීම දිගින් දිගටම අවහිර කිරීම නිසා ජාතික හැදුනුම්පත් අංකය ටින් අංකය ලෙස යොදා ගැනීම වෙනස් කිරීමට පියවර ගැනුනා.

කෙසේ නමුත් මේ වනවිට යළිත් ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස යොදා ගැනීමට යෝජනා වී ඇතත්,එය ක්‍රියාත්මක කිරීමේදී අර්බුදකාරී තත්වයන් රැසක් උද්ගතව ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

මන්ද යත් ඇතැම් අවස්ථාවල සමාන අංකයක් සහිත හැඳුනුම්පත් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බැවින් එවැනි අවස්ථාවල මෙලෙස ටින් අංකය යොදා ගැනීම ගැටලුවක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනකු පදිංචිව සිටි ලිපිනයන්ද වෙනස්ව ඇති බැවින් ටින් අංකය නිකුත් කිරීමේ අපහසුතා උද්ගතව ඇත.

පසුගිය කාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් අංක ගොන්නක් ලෙස නිකුත් කිරීමට කටයුතු කිරීමේදී එකම පුද්ගලයාට ටින් අංක කීපයක් නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.

මෙම ගැටලු තවමත් විසඳා නොමැති බවද අනාවරණය වී ඇති අතර ඇතැම් පුද්ගලයින් තමන්ට ලැබුණු අමතර ටින් අංක අවලංගු කර ඇතත්, නිවැරදි ටින් අංකයට බදු ගෙවීම් මාරු කිරීම සම්බන්ධවද ගැටලු තත්වයන් උද්ගතව තිබෙනවා.

මෙවැනි තත්වයක් මත දැනට නිකුත් කර තිබෙන ටින් අංක ලක්ෂ නමයකට වැඩි ප්‍රමාණය යළි මාරුකර නව ටින් අංකයක් ලබාදීම නිසා ප්‍රායෝගික ගැටලු රැසක් උද්ගතවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි පිරිසට ටින් අංක නිකුත් කිරීමට රජය තීරණය කළ අතර,ඉකුත් පෙබරවාරි මස පළමු වැනිදා සිට ටින් අංකය අනිවාර්ය කිරීමට තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් අංකය නිකුත් කිරීමේ දෝෂ තත්වයන් නිසා ටින් අංකය අනිවාර්ය කිරීම මාර්තු මස 31 වැනිදා තෙක් කල් දැමීමට රජය තීරණය කළා.

නමුත් පසුගිය 26 වැනිදා වනවිට ටින් අංක 109,000 ක් නිකුත් කිරීම අවහිරවී තිබූ අතර,මේ නිසා ටින් අංකය අප්‍රේල් මස පළමුවැනිදා සිට අනිවාර්ය කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: