hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 15, පෙ.ව. 4:23



රුසියානු හා චීන සංචාරකයින් විශාල වශයෙන් උණවටුණට පැමිණ ඇතත් ඔවුන් වියදම් කරන්නේ ඉතා අඩු මුදලක් බවත් මේ නිසා යුරෝපිය රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සදහා රජය මැදිහත් විය යුතු බව උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් සුමිත් උඹේසිරි මහතා පවසනවා.

උණවටුණ ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ දි පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සදහන් කළා.

සුමිත් උඹේසිරි මහතා මෙසේද සඳහන් කළා,

“රුසියානු හා චීන සංචාරකයින්ගෙන් මේ වන විට උණවටුණ ප්‍රදේශයේ හෝටල් පිරි ඉතිරි ගොස් තියෙනවා. නමුත් ඔවුන් වියදම් කරන්නේ ඉතා අඩුමුදලක්. යුරෝපිය රටවලින්  සංචාරකයින් පැමිණෙන්නේ නැහැ. රුසියානු සංචාරකයින් වෙරළ තිරයේ ඉන්නවා නම් යුරෝපිය රටවලින් පැමිණෙන සංචාරකයින් වෙරළ තීරයටවත් එන්නේ නැහැ. අනික් කාරණය තමයි මෙරටට පැමිණිමේ දි යුරෝපිය රටවල සංචාරකයින්ට විවිධ නිතිරිති  එම රටවලින් පනවා තියෙනවා. මෙරටට පැමිණෙනවා නම් සෞඛ්‍ය තත්වය පිළිබද සැලකිලිමත් වෙන්න කියලා කියනවා. අවුරුදු 50ට වැඩි යුරෝපිය සංචාරකයින් තමයි වැඩි වශයෙන් මෙරටට පැමිණෙන්නේ. ඒ අය තමයි වැඩි වශයෙන් මුදල් වියදම් කරන්නේ. ඒ නිසා බටහිර රටවල සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනිම සදහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඩොලරයේ මිල පහල යාම නිසා සංචාරක කර්මාන්තයේ නිරතවුවන්ට යම් කිසි පාඩුවක් වෙලා තියෙනවා. බැංකු ලබා ගත්තු ණය මේ වනවිට දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. අපිට කිසිදු සහණයක් නැහැ. විදුලි බිල වැඩි විම සහ ආනයනික භාණ්ඩ සිමා ලිහිල් නොකිරිමත් සංචාරක කර්මාන්ත කරුවන්ට දැඩි ලෙස බලපා තියෙනවා. මේ නිසා ආනයනික භාණ්ඩ සිමා ලිහිල් කළ යුතුයි.නැතිනම් එම භාණ්ඩවල මිල පහත දැමිය යුතුයි.”

ගාල්ල – ලලිත් චාමින්ද