hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 28, ප.ව. 3:16



ඉන්ධන ලබා දීම අත්‍යාවශ්‍ය කණ්ඩායම් වලට පමණක් සීමා කර ඇති මොහොතක විදේශීය රටවල්වල සිට මෙරට සංචාරයට පැමිණ සිටී සංචාරක කණ්ඩායම්වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (28) උදෑසන දඹුල්ල IOC පිරවුම්හලක් ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල නගරයේ IOC ඉන්ධන පිරවුම් හලක් ඉන්ධන නිකුත් කිරීම සිදු කරමින් සිටි අවස්ථාවේදී විදේශීය සංචාරකයන් රැගත් වාහන රැසක් එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ එම පිරිස්වලට ඉන්ධන ලබා දීමට නොහැකි බව පිරවුම්හලේ පාලන අධිකාරිය දැනුම් දී තිබෙනවා.

පෙර දිනයේ පෝලිම්වල සිටි ජනතාවට ටෝකන් ක්‍රමයක් හඳුන්වා දීම නිසා එම පිරිස් දැඩි විරෝධය එල්ල කිරීමත් සමග  විදේශීය සංචාරකයන් රැගෙන ආ වාහන වලට පෙට්‍රල් ලබා දීමට ඉන්ධන පිරවුම්හල් හිමියන් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

ඒ අනුව විදේශිකයෝ සමග පැමිණි කණ්ඩායම් රැසක් උදෑසන දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට තම වාහන රැගෙන විත් කෙසේ හෝ මෙම විදේශීය සංචාරකයන්ට ගමන් කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඔවුන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතාට දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

පැයක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටි විදේශිකයන් සමග දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතා සාකච්ඡා කොට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා සමඟ ඉන්ධන පිරවුම්හ හලට ගොස් පෙට්‍රල් ලීටර් 10 බැගින් හෝ මෙම විදේශිකයන්ට ලබා දෙන්නැයි ඉන්ධන පිරවුම් හලේ අයිතිකරුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කියා සිටියේ විදේශික කණ්ඩායම් වලට ඉන්ධන ලබා දීමට තමාගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවත් එහෙත් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති වීම හේතුවෙන් ජනතාව එක් පැත්තකින් තමන් අසීරුතාවයකට පත්ව සිටින බවත් අනෙක් පැත්තෙන් විදේශිකයන් රැගෙන ආ මේ රටට ඩොලර් ලැබෙන ක්‍රමය විනාශ කිරීමට තමන් අකමැති බවත් හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් රජයේ හෝ වගකිව යුතු බලධාරීන් නිසි ‍ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම නිසා තමන් ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් දෙපැත්තෙන්ම තැලෙන බව සඳහන් කළා.

පසුව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතා ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාවවගෙන් විදේශික කණ්ඩායම්වල වාහනවලට ඉන්ධන ලබා දෙන ලෙස සහ ඉන්ධන ලබා ගැනීමට සහයෝගයක් ලබා දෙන්නැයි පෝලිම් වල සිටි ජනතාවගෙන් කල ඉල්ලීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

පෝලිම්වල රැඳී සිටි ජනතාව කියා සිටියේ කිසිසේත් විදේශික සංචාරකයන් රැගෙන ආ වාහන වලට ඉන්ධන ලබා දීමට නොහැකි බවයි.

තමන්ද දින ගණනාවක් තිස්සේ පෝලිම් වල රැඳී සිටිමින් තමන්ට ඉන්ධන අහිමි වන බව ප්‍රකාශ කරමින් ඔවුහු කියා සිටියේ තමන්ට ඉන්දන ලබාදී ඉතිරි වුනොත් විදේශිකයන්ට ලබාදීම සිදු කරන ලෙසයි.

කෙසේවෙතත් පොලිසිය සහ ඉන්ධන ලබා ගැනීම් සඳහා පැමිණි පිරිස් අතර උණුසුම්  තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පොලිසිය දැඩි ලෙස කියා සිටියේ විදේශීය රටවලින් පැමිණි අයට ප්‍රමුඛස්ථානය ලබා දීම සිදු කළ යුතු බවයි.

පොලිසිය සඳහා වෙන් කර ඇති ඉන්ධන ප්‍රමාණය විදේශීය සංචාරකයන්ට ලබා දෙන ලෙසට ඉන්ධන පිරවුම්හල්  හිමිකරුවන්ට සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර තිබෙනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස