hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 24, ප.ව. 12:01



දුම්රිය හරස් මාර්ග හරහා ගමනාගමනයේදී සිදුවන අනතුරු නිසා වටිනා ජීවිත අහිමිවීම් සහ බරපතළ තුවාල සිදුවීම් ගණනාවක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් දකින්නට අසන්නට ලැබෙනවා.

ඒ සඳහා විසඳුමක් ලෙස බලධාරීහු දුම්රිය ගේට්ටු මුරකරුවන් යෙදීමට කටයුතු කළා.

යොදවා සිටි සේවකයන්ද ඉතාමත් අඩු වැටුපක් යටතේ කටයුතු කළත් ඔවුහු එය රැකියාවක් ලෙස නොව මහජන සේවයක් ලෙස තම කාලය, ශ්‍රමය ඒ වෙනුවෙන් වැය කළා.

එහෙත් වසර කිහිපයකට ඉහතදී දුම්රිය ගේට්ටු මුරකරුවන් ඉවත් කොට බෙල් ඇන් ලයිට් සිස්ටම් පද්ධතියක් යෙදීමට කටයුතු කළා.

එම පද්ධතියේ නිරන්තරයෙන් සිදුවන කාර්මික දෝෂ නිසා දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු පිළිබඳ නැවත නැවතත් විවිධ ප්‍රදේශවලින් අසන්නට දකින්නට තිබෙනවා.

බෙල් ඇන් ලයිට් සිස්ටම් පද්ධතියේ පවතින කාර්මික දෝෂය විටින් විට නිවැරදි කළත් නිරන්තරයෙන්ම බිඳ වැටීමට ලක් වෙයි.

ඒ පිළිබඳ ජනතාව, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින්ද නොයෙකුත් අවස්ථාවලදී බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලදී.

මේ සඳහා ස්ථිර විසඳුමක් මෙතෙක් ලැබී නැති බවද ජනතාව පෙන්වා දෙති. මෙම තත්ත්වය තුළ අනතුරුදායක දුම්රිය හරස් මාර්ගයක් ලෙස සඳහන් පුවරුවකට පමණක් සීමාවූ වැලිගම පැලෑන මහගෙදරවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා දෙස්විදෙස් විශාල පිරිසක් දෛනිකව ගමන් කරන අතර ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමට කටයුතු කර තිබේ. මුරකරු ලෙස ඩබ්ලිව්. සුසන්ත මහතා සේවයේ යෙදෙයි.

මේ සඳහා මාසිකව රුපියල් 25,000ක මුදලක් වැය වන අතර ව්‍යාපාරිකයන් වන කේ. කේ. ඒ. විරාජ් රංගනාත් සහ විදුෂාන්, පී.පී.පී. හසිත එරංග හා තිළිණ සේරසිංහ යන මහත්වරු වෘත්තියෙන් ගුරුවරියක වන චමිලා ප්‍රියන්ති මිය ඇතුළු තරුණ කණ්ඩායම මෙම උතුම් සත්කාරය වෙනුවෙන් වෙහෙස මහන්සිවී පෙරමුණ ගෙන කටයුතු කළා.