hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 26, පෙ.ව. 3:28



මහනුවර මාතලේ අතර ධාවනය කිරීම සඳහා මහනුවර දුම්රිය ස්ථානයට රැගෙන ආ බලවේග කට්ටල දුම්රිය මේ දක්වා ධාවනය නොකිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව මහනුවර මාතලේ මාර්ගයේ දුම්රිය මගී ජනතාව චෝදනා කරනවා.

මහනුවර මාතලේ දුම්රිය මගී එකමුතුවෙ සභාපති කසුන් හල්විටිගේ මහතා සඳහන් කළේ මහනුවර මාතලේ මාර්ගයේ ධාවනය වන ඉතා පැරණි දුම්රිය අබලන් වීම හේතුවෙන් මාස 03 ක් පමණ කාලයක් ධාවනය නොවූ බවයි.

තවදුරටත් අදහස් පළ කළ හෙතෙම මෙසේද සඳහන් කළා.

“මෙම දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මේ මාර්ගයේ දෛනිකව දුම්රිය මගින් ප්රවාහන අවශ්යතා සපුරාගත් දහස් ගණනක් වූ ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා. විශේෂයෙන් පාසල් සිසුන් හා කාර්යාල මඟී ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා. මගී ජනතාවගේ දැඩි ඉල්ලීම අනුව නැවතත් දුම්රිය ධාවනය පසුගියදා ආරම්භ කලත් ඒ ධාවනයට එක් කළ දුම්රිය ඉතාමත් අබලන් එකක්. නිතරම ආපදාවන් වලට ලක්වෙලා මහ මග නතර වෙනවා. මේ නිසා ජනතාව දැඩි පීඩාවට ලක් වෙනවා. මේ මාර්ගයේ ගමන් ගන්නා මගීන් වසර ගණනාවක සිට මේ අයුරින් පීඩාවට පත් වුණා. අපි දීර්ඝ කාලයක් දුම්රිය බලධාරීන් ගෙන් ඉල්ලීම් කළා හොඳ දුම්රියක් අපිට ලබා දෙන්න කියලා. ඒ අනුව පසුගිය 22 දා කොළඹින් බලවේග කට්ටල දුම්රියක් මහනුවර මාතලේ මාර්ගයේ ධාවනය සඳහා එවලා තිබුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රධාන ධාවන බල ඉංජිනේරු මහතා ඇතුළු අදාළ ඉංජිනේරු හා කාර්මික නිලධාරීන් එදාම මහනුවර වත්තේගම මාර්ගයේ මෙම බලවේග කට්ටල දුම්රිය ධාවනය කරවලා ඒ දුම්රිය මෙම මාර්ගයේ ධාවනයට සුදුසුයි කියලා නිර්දේශ කළත් දුම්රිය නියාමකවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මේ දක්වාම දුම්රිය ධාවනය නොකොට මහනුවර දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබෙනවා. අදට දින 06 ක් වෙනවා. සියලුම කාර්මික හා ඉංජිනේරු අංශ මේ දුම්රිය අදාළ මාර්ගයේ ධාවනයට සුදුසු බවට නිර්දේශ කළත් නියාමකවරු පමණක් ඒ සඳහා විරෝධය පානවා. මේ දුම්රිය ධාවනය කිරීම සඳහා රියදුරු මහත්වරු දුම්රියට නැඟලා දුම්රිය පණ ගන්වා පැය ගානක් බලා සිටියත් නියාමකවරු රාජකාරියට ආවේ නෑ. මේක විශාල අසාධාරණයක්. ජාතික ධනය විනාශ කිරීමක්. එනිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුව විසඳලා වහාම මෙම බලවේග කට්ටල දුම්රිය මහනුවර මාතලේ අතර ධාවනය කිරීම සඳහා කටයුතු කරන ලෙසයි.”                                                                                                                          

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් සිදු කළ විමසීමකදී මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රධාන නියාමක නිළධාරී ආර්.කේ.වී. දොරකුඹුර කියා සිටියේ මෙම දුම්රියේ ප්‍රායෝගික මෙන්ම තාක්ෂණික ගැටලු රැසක් පවතින බැවින් එම දෝෂ සියල්ල යථාවත් කරන තුරු එහි රාජකාරි කිරීමට ලංකා දුම්රිය නියාමක වරුන්ගේ සංගමය තීරණය කොට ඇති  බවයි.

කෙසේ වුවද මෙම දෝෂ පිළිසකර කළහොත් එහි රාජකාරි සඳහා වාර්තා කිරීමට දුම්රිය නියාමක මහත්වරු සූදානම් බවද හෙතෙම සඳහන් කළා.

අදාළ දුම්රිය මෙම මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු බවට ලිඛිතව සහතිකයක් ලබා දිය යුතු බවද සියල්ලට ප්‍රථම වැදගත් වන්නේ මගී ආරක්ෂාව බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

මහනුවර දුම්රිය ස්ථානයේ බලධාරීන්ගෙන් මෙන්ම දුම්රිය රියදුරන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ඒ ආකාරයෙන් ලිඛිත සහතික ලබාදීම මේ දක්වා සිදු නොවන්නක් බවයි.

ප්‍රධාන ඉංජිනේරු බල ධාවන ඇතුළු අනිකුත් නිලධාරීන් මහනුවර මාතලේ මාර්ගයේ මෙම දුම්රිය ධාවනය කොට එය ධාවනයට සුදුසු බව නිර්දේශ කළද වෙනත් වෘත්තීය ගැටලුවක් මත දුම්රිය නියාමකවරු මෙහි රාජකාරී සඳහා වාර්තා නොකරන බව දැනගන්නට ලැබී ඇති බවයි.

මහනුවර – කමල් සුරවීර