hit counter

2026 ජූලි මස 12 වන ඉරිදා

2026 ජූලි 13, පෙ.ව. 12:08



 මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වී ඇති අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදල නැවත සොයා ගැනීමට නොහැකි වුවහොත්, එම පාඩුව පියවා ගැනීම සඳහා මහජන බදු මුදල් භාවිතා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා අනාවරණය කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

මෙහිදී හෙළි වූ විශේෂ කරුණක් වූයේ, මහා භාණ්ඩාගාරය වැනි අතිශය රහස්‍ය තොරතුරු හුවමාරු වන ආයතනයක්, 2019 වසරේදී භාවිතයෙන් ඉවත් කළ යුතු යල් පැන ගිය ඊමේල් සර්වර් පද්ධතියක් 2026 වසර දක්වාම භාවිතා කර තිබීමයි.

මෙම පද්ධතිය යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් එය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට ද සැක පළ කෙරේ.

පසුගිය නොවැම්බර් මාසයේදී අදාළ ගෙවීම් තුන් වතාවක්ම ප්‍රතික්ෂේප වී ඇති අතර, ඒ පිළිබඳව මහ බැංකුව විසින් භාණ්ඩාගාරය දැනුවත් කර තිබේ.

එසේම අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව මඟින් ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධ ගැටලුවක් පවතින බවට අනතුරු ඇඟවීම් කර තිබියදීත්, ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීමට භාණ්ඩාගාර නිලධාරීන් අපොහොසත් වී ඇති බව කාරක සභාවේදී විවේචනයට ලක් විය.

භාණ්ඩාගාරය සතු තොරතුරු පද්ධති සම්බන්ධයෙන් වාර්ෂික විගණනයක් සිදු කර නොමැති බව ද මෙහිදී අනාවරණය විය.

ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු වූ මෙම මුදල වංචනික ලෙස වෙනත් ගිණුමකට බැර වී ඇති අතර, එම මුදල නැවත ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත්, එම මුදල අයකර ගැනීමට නොහැකි වුවහොත් අයවැය ප්‍රතිපාදන මඟින් එනම් මහජන මුදලින් එම ණය පියවීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: