hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 14, ප.ව. 12:07



රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සරසවි සිසුන් විසින් ඊයේ (13) විරෝධතාවයක් පැවැත්වුණා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට චෝදනා කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවුණා.

රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා ඉකුත් පෙබරවාරි 6 වනදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ පිහිටි සිය නිල අධ්‍යයන කාමරයට ගොස් තිබෙනවා.

ගෑස් කාන්දුවක් වැනි දුර්ගන්ධයක් එහිදී තමාට දැනුණු බවත්, ටික වේලාවකින් ක්ලාන්ත ගතියක්ද හටගත් බවත් රොහාන් ලක්සිරි මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා,

“ඒක විශාල සැර දුගඳක්. විනාඩි 10ක් යන්න කලින් මට දැඩි ඔළුවේ කැක්කුමක් දැනුණා. ඊට පස්සේ මම දැඩි උස්සහයක් දැරුවා මේක මොකක්ද කියලා හඳුනාගන්න. මම ඊට පස්සේ මාහාචාර්ය අනුර කුමාර මහතාගේ සහාය ගත්තා. එතුමාගේ නිරික්ෂණයක්ට අනුව ඒක විෂ වායුවක් හා සමාන දෙයක් කියලා එතුමා මට ප්‍රකාශ කළා. පස්සේ මම ඒ පිළිබඳ උපකුලපතිවරයාට කෙළින්ම දැනුම්දුන්නා. උපකුලපතිතුමා නියෝජ්‍ය උපකුලපතිතුමාව එවලා මගේ කාර්යාලය පවතින ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම සීල් කළා. පසුව පැය 30කට විතර පසුව තමයි මේ සීල් කඩන්නේ. 

උපකුලපතිතුමා සහ සෞඛ්‍ය පරීක්ෂකතුමා සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂ අංශයේ කිහිපදෙනෙක් ඇවිල්ලා කාමරය විවෘත කරලා ජනේලේ ඇරියා, ෆෑන් එක හයියෙන් දැම්මා. ගොඩනැගිල්ලේ තිබුණු එයාර්ස්ප්‍රේ එක කාමරයට ගැහුවා. හැන්ඩ් සැනිටයිසර් විශාල වශයෙන් පාවිච්චි කළා. කවුද කළේ කියලාවත්, මොකක්ද වුණේ කියලාවත් හඳුනාගන්න බැරි විදියට සාක්ෂි විනාශවීමක් සිදුවුණා. ඒ නිසා මම පොලීසියේ පැමිණිල්ලක් කළා. පොලීසිය පවා කිව්වේ සාක්ෂි විනාශවෙලා තියෙන්නේ කියලා. මම විශ්වාස කරනවා එය සංවිධානාත්මක මිනීමැරුමක සැලසුමක් කියලා.”

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරුන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු පැහැදිලි කරමින් පැවසුවේ මෙය රුහුණු විශ්වවිද්‍යාලයේ පවතින සාමකාමී බව නැති කිරීමට දරපු උත්සාහයක රඟදැක්වීමක් බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් අබේරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“උපකුලපතිවරයා ඇවිල්ලා ලක්සිරි මහත්මයාගේ කාමරයේ මේ කුමන්ත් රණය පිළිබඳ සොයාගන්න තිබිච්ච පරිවේශනීය සාක්ෂි ටික විනාශ කරනවා. මේක බරපතල වරදක්. ඒ නිසා දැනටම මේ උපකුලපතිවරයා අත්අඩංගුවට පත්විය යුතු කෙනෙක්.”