hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 16, පෙ.ව. 9:48



ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමි සමාජවාදි පක්ෂවලට සම්බන්ධ සිසුන් දෙපිරිසක් අතර ගුටිබැට ඇනගැනීමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේදී සිදුව තිබෙන අතර, එය නතර කිරීමට පොලිසිය මැදිහත්ව කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීම පෙරේදා (14) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ ඉදි කර තිබූ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මුල් කරගනිමින් පීඨ දෙකක සිසුන් අතර ඇති වූ ගැටුමකින් නේවාසිකාගාරයේ දේපළවලට දැඩි අලාභානි සිදු ව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

එදින රාත්‍රී 11ට පමණ එම විශ්වවිද්‍යාලයේ නේවාසිකව රැඳී සිටින කලා අංශයේ සිසුන් හා කළමනාකරණ පීඨයේ සිසුන් අතර අතින් පයින්, පොලු මුගුරු සහ ගල්වලින් මෙම ගැටුම හටගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම ගැටුමෙන් නේවාසිකාගාරයේ ගේට්ටුවට, දොරවල් දෙකකට සහ වීදුරු ජනේලවලට බරපතළ අලාභ සිදු වී තිබෙනවා.

සිද්ධිය සැලවීමත් සමඟම මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබුණා.

ඉදිකරන ලද තොරණ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මුල්කරගෙන මෙම බහින් බස් වීම දුරදිග යාමෙන් ගැටුම හටගෙන තිබෙනවා.

ගැටුමට හේතුව එය වුවද ජනතා විමුක්ති පෙරමුණේ සිසුන් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබූ බව අනතුරුව වාර්තා වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

ගැටුමින් තුවාල ලද සිසුන් කිහිප දෙනකු කලුබෝවිල රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගෙන පිට වී ඇති අතර එක් සිසුවකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

එම සිසුවාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියකු රෝහල වෙත ගිය අවස්ථාවේදී තමන් එදින දහවල් වොලිබෝල් සෙල්ලම් කිරීමට ගොස් වැටීමෙන් තුවාල වූ බවට ප්‍රකාශ ලබා දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කියා සිටියා.

ඇති වූ ගැටුම සම්බන්ධයෙන් හෝ සිදුවූ අලාභ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ (15) සවස් වන විට පොලිසිය වෙත පැමිණිලි කර නොතිබූ බව එම නිලධාරියා සඳහන් කළා.

ගැටුම ඇතිකරගත් පාර්ශ්ව දෙකෙන්ද පැමිණිල්ලක් ලැබී නැතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.