hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 09, ප.ව. 2:31



🟠 අරගලය තීරණාත්මක සංධිස්ථානයකට පැමිණීමෙන් පසු කොළඹ – පිටකොටුව බෝධිය අසල ආරම්භ කළ භික්ෂු සත්‍යග්‍රහය අද පස්වරුවේ අවසන් කළා.

ඒ දින දෙකකට පසුවයි.

🟠 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවාහැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොළඹට පැමිණි විරෝධතාකරුවන් පිරිසක් අද පස්වරුවේ කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි නිවස අසල විරෝධතාවයක නිරත වුණා.

🟠 ජනපති අගමැති-අගමැති ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිට විය යුතු බව අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවා.

🟠 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට‌ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අරගලකරුවන් විශාල පිරිසක් පැමිණ ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණීමත් සමගයි.

අරගලකරුවන් සදහන් කරන්නේ ගුවන් තොටුපළ හරහා ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිටව යාමට කිසිදු ඉඩකඩක් ලබා නොදෙන බවයි.

🟠 ජනපති හා අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනා ම වහා ඉල්ලා අස් විය යුතු බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ඇති රැස්වීම්වලට සමගි ජන බලවේගය සහභාගී නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

එම නිවේදනයේ ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, අගමැතිවරයා ද රටේ වර්තමාන තත්ත්වයට විත්තිකරුවෙක් වන බැවින් වහා අග්‍රාමාත්‍යවරයා ද ඉවත් විය යුතු බවයි.

🟠 ජනාධිපති ඉවත් වූ පසු රනිල් නැමැති මාලිගා කුමන්ත්‍රණකරුවාට, පඹයාට ජනාධිපති පුටුවේ තත්ත්පරයක් හෝ වාඩිවීමට ඉඩ නොතැබිය යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් අරගල භූමියේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.

🟠 විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහල සඳහන් කළේ ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් ද වන අතර, කාන්තාවන් තිදෙනෙකු ද වනවා.

එමෙන්ම, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

🟠 ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ ගජබා නෞකා දෙකෙන් ප්‍රභූ පිරිසක් කොළඹ වරායෙන් පිටත් ව යන අයුරු සමාජමාධ්‍යවල වීඩියෝවක් සංසරණය වෙනවා.

ප්‍රභූන් පිරිස කවුද යන්න තහවුරු වී නොමැති අතර, පිරිසක් ඉතා හදිස්සියෙන් බඩු බාහිරාදිය රැගෙන නෞකාවට නගින අයුරු ද එහි දර්ශනය වෙනවා.

මේ අතර රථ පෙළක් කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ ද ගමන් ගන්නා අයුරු ද සමාජ මාධ්‍යවල සැරි සරමින් පවතිනවා.

🟠 ලබන සතියේ පාර්ලිමේන්තුව කැදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා හෝ අඟහරුවාදා දින හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට නියමිත බව කතානායකවරයා සඳහන් කරනවා.

එදින බොහෝදුරට ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

🟠 මේ වන විට අරගලයේ නිරත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ද අත් පත් කර ගෙන ඇති බව වාර්තා වෙනවා.

🟠 පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මහජන අරගලයට සහාය පළ කිරීමේ අරමුණින් අරගලකරුවන් හා එක් වීමට පැමිණි මන්ත්‍රීවරයාට මෙලෙස අරගලකරුවන් විසින් පහර දී තිබෙනවා.

🟠 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.

එසේම අග්‍රාමාත්‍යවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසයි.

🟠 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි.

මෙම ලිපියට මැති ඇමතිවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර මහතා ආදිහු ද අත්සන් තබා තිබෙනවා.

මෙම තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

🟠 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.

🟠 විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරයේ ගේට්ටු වලට ඉහළින් පැන එම පරිශ්‍රයට ඇතුළු වී තිබෙනවා.

🟠 කොළඹ ගාලු මෝදර ආශ්‍රිත පැවැත්වෙන විරෝධතාවලට සහභාගීවූ පුද්ගලයන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවා.

එම පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනකු වන බව ඇය වැඩිදුරටත් පැවසුවා.

ජනතාව මේ වන විට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයට පැමිණ තිබෙනවා.

🟠 කලාකරුවන්ද අරගලයට එක්වීම සදහා නන්දා මාලිනිය පෙරටු කොටගෙන එල්ෆින්ස්ටන් රගහලේ සිට පා ගමනක් ආරම්භ කොට තිබෙනවා.

මේ වන විට ගෝල්ෆේස් අරගලකරුවන්ට වගේම චැතැම් විදියේ අරගලකරුවන්ට අවස්ථා කිහිපයකදීම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

🟠 ගෝල්ෆේස් අරගල භූමියටත් මේ වන විට නොනවත්තා දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වෙනවා.

අරගලකරුවන් එයින් පළවා හැරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරත් එය ව්‍යර්ථ වී තිබෙනවා.

🟠 කොළඹ චැතැම් වීදියේ ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම චැතැම් වීදියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ජනතාව ඒකරාශී වෙමින් චැතැම් වීදියේ ඉදිරියට ජනාධිපති මන්දිරයට දෙසට ගමන් කිරීමට උත්සහ දැරීම නිසා මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

කෙසේවෙතත් ආරක්ෂක අංශ එයට අවස්ථාව ලබා දෙන්නේ නැහැ.