hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 3:24



රටේ පවතින අර්බුද වලට විසඳුම් සෙවීමේ වගකීම එක් අයෙකුට පමණක් පවරා අනෙක් අය නිහඬව සිටීම අනුමත කළ නොහැකි බවත් ඒ සඳහා සියලුදෙනා තම තමන්ට හැකි පමණින් දායකත්වය ලබා දිය යුතු බවත් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

සියලුදෙනා එකතු වී විසඳුම් සෙවිය යුතු අවස්ථාවක් දැන් එළඹ තිබෙන බවත් එය සැවොම තේරුම් ගැනීම වැදගත් බවත් ආදිවාසි නායකයා පැවසුවා.

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිවක පවත්වන මී පැණි පූජාව සඳහා අද (07) මහනුවරට පැමිණි අවස්ථාවේ වන්නිල ඇත්තන් මේ බව ප්‍රකාශ කළා.

සෑම වසරකම පළමු රන්දෝලි පෙරහර දින ආදිවාසි ජනතාව මී පැණි පූජාව සඳහා මහනුවරට පැමිණෙන අතර මෙවර වැදි නායකයා සමඟ 32 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පූජාව සඳහා එක්ව සිටියා.

මහිංයගණය ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි වී තිබෙනවා.

දළදා මාලිගාවට පැමිණි වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ කණ්ඩායම දියවඩන නිළමේප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා.

මී පැණි පූජා කර දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාලකයින් පවතින ගැටලු පිළිබඳ කතා කරමින් සිටිනාවට වඩා වැදගත් වන්නේ ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීම බවද ඔහු අවධාරණය කළා.

තම නායකත්වය යටතේ මෙවර මී පැණි පූජාව සිදු කරන්නේ 26 වැනි වතාවට බවත් පසුගිය මාස කිහිපයේ පැවති වියළි කාලගුණය නිසා මාදුරුඔය රක්ෂිතයේ මල් හිඟවීම නිසා පැණි සොයා ගැනීම දුෂ්කර වූ බවද වැදි නායකයා සඳහන් කළා.

කොවිඩ් අවධානම නිසා අගෝස්තු මස 08 වැනි දිනට යෙදෙන ලෝක ආදිවාසි දිනය පසුගිය වසරේ සැමරීමට නොහැකි වූ බවත් මෙවර එය සැමරීමට අපේක්ෂා කරන බවත් වන්නිල ඇත්තන් පවසා සිටියා.

ආදිවාසි ප්‍රජාව නියෝජනය කරන තරුණ කණ්ඩායම් නාගරය හා සම්බන්ධ වී ඊට අනුරූපව ජීවිතය හැඩගස්වා ගැනීමට උනන්දු වන බවත් ඊට එරෙහි වීමට තමන් උත්සහ නොකරන බවත් කී වැදි නායකයා ආදිවාසි ප්‍රජාවගේ අනාගත පැවැත්මට බලපාන ප්‍රධාන කාරණය මෙය බවද ප්‍රකාශ කකළා.

තමන් නායකත්වයට පත්වන්නේ පරම්පරාවෙන් නිසා තමන්ගේ නායකත්වයට අභියෝගයක් නොමැති බවත් දේශපාලනඥයින් ජනතා ඡන්දයෙන් පත්වන නිසා ඔවුන්ගේ නායකත්වයට සෑම අවස්ථාවකදීම අභියෝග පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියා.

මහනුවර – කේ.එල්.සුරවීර