hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:09



උතුරු පළාත තුළ චීන ආධිපත්‍ය පැතිරෙමින් තිබෙන බවත් එය කිසිවිටෙකත් අනුමත. නොකරන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි. රටේ සංවර්ධන ව්‍යාපෘති කිරීමට තම පක්ෂය එරෙහි නොවන නමුත් චීනය උතුරේ කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් උතුරේ ජීවත් වන දෙමළ ජනතාවත් ඉන්දියාවත් අතර පවතින බැඳීමට බලපෑමක් විය හැකි බව අඩෙක්කලනාදන් මහතා පැවසුවා.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ වවුනියාවේදී ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවේදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළා.

“චීන නෞකාවක් හේතුවෙන් මෑතකදී මෙරට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. එම නෞකාව ඉන්දියාවේ ආරක්ෂාවට බලපෑමක් කළ හැකි බවට ඉන්දියාව අදහස් දක්වා තිබියදී එම නැවට අප රටට පැමිණීමට අවසරය ලබාදුන්නා. එසේ තිබියදී යළිත් ශ්‍රී ලංකාවේ චීනයේ ආධිපත්‍ය වැඩි වෙමින් තිබෙන බවක් දක්නට ලැබෙනවා.

විශේෂයෙන් චීනයේ නියෝජිතයන් මේ දිනවල වැඩියෙන් උතුරේ සංචාරය කරමින් යම් යම් කටයුතුවල නිරත වන බවක් දක්නට ලැබෙනවා. මුහුදු කූඩැල්ලන් හා ඉස්සන් ගොවිපොළවල් නමින් අප ප්‍රදේශවල ජනතාව මෙම චීන ආධිපත්‍ය නමැති දැලෙහි පැටලවීමට ඔවුන් උත්සාහ දරනවා. විශේෂයෙන් උතුරේ ජනතාව ඉන්දියාවට එරෙහි බව හුවා දැක්වීමට ඔවුන් මෙය අවස්ථාවක් කර ගැනීමට සූදානම් වෙනවා.

අපට ආසන්නම රට වන ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් දෙමළ ජනතාව වශයෙන් පෙනී සිටීම  අපගේ වගකීමක්. එම සංවර්ධන ව්‍යාපෘති චීනය හැර වෙනත් රටවලට භාරදීම කළ හැකියි. අසල්වැසි ඉන්දියාවට වුවත් ඒ අවස්ථාව ලබාදිය හැකියි. ඒත් චීනයේ ආධිපත්‍ය හා කටයුතු විශේෂයෙන් උතුරේ වෙරළ ප්‍රදේශවල පැතිරවීමට උත්සාහ කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි”