hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 07, පෙ.ව. 12:44



ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට පරිහරණය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලබාදී තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සුපිරි රථයක් අනතුරට පත්වීමෙන් පසු රුපියල් එක් කෝටි අනූ එක් ලක්‍ෂ පනස් තුන් දහස් හත්සිය පහළොවක් වැය කොට අලුත්වැඩියා කර යළිත් එම මන්ත්‍රිවරයාටම පරිහරණය සඳහා ලබාදී ඇතැයි විගණන පරීක්‍ෂණයකදී හෙළිවී තිබෙනවා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ‘ලෑන්ඩ්රෝවර් ඩිස්කවරි’ වර්ගයේ රථයක අලුත්වැඩියාව සඳහා මෙම වියදම් ඇස්තමේන්තුව ලබාදී ඇතැයි එකී විගණනය හෙළි කරනවා.

එම වාහනය ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත අදාළ මන්ත්‍රිවරයාට ලබාදෙන අවස්ථාවේ එය ලබා ගන්නා තැනැත්තා විසින් වාහනයේ නඩත්තු වියදම් දැරිය යුතු යැයි පළාත් ලේකම්වරයා සටහනක් යොදා තිබුණද එම වාහනයේ සියලු නඩත්තු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය දරා ඇති බවත් අනතුරුවලට ලක්වූ අවස්ථාවන් දෙකකදී පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අලුත්වැඩියා කර ඇති බවත් එම විගණනයේදී හෙළිවී තිබෙනවා.

එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා භාරයේ තිබියදී ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වැනි දින මධ්‍යම රාත්‍රි 12.30ට පමණ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් අලුත්වැඩියාව සඳහා මෙසේ රුපියල් 1,91,53,715ක් වැය වී තිබේ. එහෙත් ඒ සඳහා රක්‍ෂණ සමාගම අනුමත කර ඇත්තේ රුපියල් 73,90,711 ක් පමණයි.

ඒ අනුව ඉතිරි මුදල ගෙවනු ලැබ ඇත්තේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්.

මේ සම්බන්ධව බස්නාහිර පළාත් ආණ්ඩුකාර  එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලකගෙන් පුවත්පතක් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම වාහනය මන්ත්‍රිවරයාට ලබාදීම නීත්‍යනුකූල බවයි.

එහි අලුත්වැඩියා සඳහා අමාත්‍යාංශය වැය කළ මුදල මන්ත්‍රිවරයාගෙන් අයකර ගැනීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළා.