hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 3:08



විදෙස් ගත ශ්‍රමිකයින් ට හිමිවන තීරු බදු සහනය ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට සිදුකරනු ලබන ප්‍රේෂණයන් වැඩිකිරීම සඳහායි මෙම දිරි ගැන්වීම සිදුකර ඇත්තේ.

ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේ දී අතිරේක තීරු බදු සහන දීමනාවක් ලබාදීමට හා විදුලියෙන් ක්‍රියාකරනු ලබන වාහනයක් මිල දී ගැනීම සඳහා එකී විගමනික ශ්‍රමිකයින්ට පහසුකම් සැලසීමට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම මාධ්‍ය හමුවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මේ බව පැවසුවා.

ඒ අනුව, ඩොලර් 3,000 වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති පුද්ගලයින්ට එම මුදලින් අඩක වටිනාකමකට බදු රහිතව විද්‍යුත් යතුරුපැදියක් මිල දී ගැනීමට අවස්ථාව හිමි වන බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ සඳහා මෙම සහනය ලබා නොදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, ඩොලර් 20,000ට වැඩි ඕනෑ ම මුදලක් මෙරටට එවා ඇති පුද්ගලයින්ට එම මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65,000ක් දක්වා වන පරිදි විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමට අවසර හිමි වන බවයි.

එම මෝටර් රථය කිලෝමීටර් 300-500ත් අතර ධාවන පරාසයක විය යුතු බව ඔහු අවධාරණය කළා.

එමෙන් ම, එම වාහන ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයා ගැනීමට එම පුද්ගලයා විසින් ම සූර්ය බල පද්ධතියක් ද මිල දී ගනු ලැබීම හෝ ආනයනය කිරීම සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා පැවැසුවා.

ඔහු පෙන්වා දුන්නේ, එම වාහන ජාතික විදුලි බල පද්ධතිය හරහා ආරෝපණය කිරීමට අවසර හිමි නොවන බවයි.