hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 11, ප.ව. 4:40



ඩොලරය කඩා වැටීම හා රුපියල ඉතා වේගයෙන් ශක්තිමත් වීම යනු දෙපැත්ත කැපෙන කඩුවක් වගේ බවත් එය ඉතා පරිස්සමෙන්. හැසිරවිය යුතු දෙයක් බවත් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආර්ථික විශ්ලේෂක ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජයවර්ධන මහතා පැවැසුවා. 

මේ තත්ත්වය හේතුවෙන් ආනයනය කරන පිරිසට අඩු මිලට ඩොලරය මිලදී ගැනීමට හැකි වීම හේතුවෙන් වාසියක් ලැබෙන නමුත් ලංකාවට ඩොලර් එවන අපනයනකරුවන්, විදෙස් ශ්‍රමිකයන් ඇතුළු පිරිසට එය අවාසිදායක බවත් හෙතෙම සඳහන් කළා.

රුපියල ශක්තිමත් වනවා යැයි පවසමින් ඩොලරය කඩා වැටීමට ඉඩ ලබාදී දේශපාලනඥයන් සතුටු කිරීම උදෙසා නිහඬව සිටීමට මහ බැංකුවට නොහැකි බවත් එලෙස ඔවුන්ගේ නිහැඩියාව රටේ ආර්ථිකය තවත් ආකාරයකින් අර්බුදයකට ලක් කිරීමක් බවත් ඔහු සඳහන් කළා.

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් එවන පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය සියයට 20කින් කඩාවැටී ඇති බව තමා විසින් සිදුකරන ලද පර්යේෂණයකින් තහවුරු වූ බව ද ඔහු පැවැසුවා. 

රට තුළට පැමිණෙන විදේශ විනිමය විශාල වශයෙන් මේ හේතුව නිසා කඩා වැටී ඇති නමුත් රටින් පිටතට යන විදේශ විනිමය ශීඝ්‍රයෙන් ඉහළ යන බවත් ඔහු සඳහන් කළා.

දේශපාලනඥයන්ගේ සතුට වෙනුවෙන් මේ සිදුවීම දෙස නිහඬව බලා සිටීමට මහ බැංකුවට නොහැකි බවත් ඔවුන් වහාම කළ යුත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 350ක් වැනි මට්ටමක ස්ථායිකරණය කිරීමට පියවර ගැනීම බවත් ඔහු පැවැසුවා.

මහ බැංකුව එවන් පියවරක් අනුගමනය නොකරන්නේ නම් ආර්ථිකය කඩා වැටීමට හැකි බවත් රට තුළට පැමිණෙන විදේශ විනිමය ක්‍රමයෙන් පහත යනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

‘ෆිච්’ ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දෙන පරිදි මේ වසර අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20කින් පහළ යා හැකි බවත්  රුපියලේ අගය 390 දක්වා පහත වැටීමට හැකි බවත් ඔහු පැවැසුවා. 

වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි යැයි ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙන බවද ඔහු සඳහන් කළා.

එවැනි මත ඉදිරිපත් කරනු ලබන ආයතන සඳහා බැන වදිමින් ප්‍රයෝජනයක් නොමැති බවත් මේ සිදුවන්නේ පොහොර ප්‍රශ්නයේදී සිදුකරනු ලැබූ වැරදී තීන්දු ගැනීමට සමාන වැරද්දක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවා.