hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 18, පෙ.ව. 9:39



දශක තුනකට ආසන්න කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කර අදට (18) වසර 13ක් සම්පූර්ණ වෙනවා.

2009 වසරේ මැයි මස 18 වැනිදි එල්.ටී.ටී.ඊ, නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර නන්දිකඩාල් කලපුවෙන් සොයා ගැනීමත් සමග යුද්ධය නිල වශයෙන් අවසන් වුණා.

එදා යුද්ධය පැවැති සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනපනති වී සිටිනවා.

එවක ජනපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්‍රමාත්‍යවරයෙක් ලෙසට පත්ව තිබෙනවා.

එවක යුදමය සමයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් විරුවෙක් වූ ශවෙන්ද්‍ර සිල්වා මහතා අද වන විට ජනරාල් තනතුරට පත්ව යුද හමුදාපති ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කරනවා.

එවක මේජර් ජනරාල්වරයෙක් වූ කමල් ගුණරත්න මහතා අද වන විට ජනරාල් තනතුරට පත්ව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවා.

මේ අතර ජනපතිගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මකවන පරිදි යුද හමුදා නිලධාරීන් 396කට සහ සෙසු නිලධාරීන් 8110කට උසස්වීම් ලබා දී තිබෙනවා.

මේ අතර යුද සැමරැම් දිනය දා එල්.ටී.ටීඊ. සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ඉන්දියානු බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය විසින් මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දීය ද හින්දු පුවත්පතේ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.

පසුගිය 13 වැනි දින ඉන්දීය පුවත්පත විසින් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර ඇති බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඉහත තොරතුරු සබැඳිව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවයි.

මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා ගැන මෙරටට දැනුම්දීමට කටයුතු කරන බව ද දන්වා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත දැනුවත් කර මේ වනවිටත් අවශ්‍ය සියලුම ආරක්ෂාව තර කරමින් ක්‍රියා කිරීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.