hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 18, ප.ව. 4:16



රජයේ සේවකයන් සිකුරාදා දිනවල භෝග වගාව සඳහා යොමු කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමේදී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, වර්ෂි දන්දෙණිය මහත්මිය පුවත්පතක් සමඟ එක්වෙමින් අදහස් දක්වා තිබෙනවා.

සිකුරාදා නිවාඩු දිනයක් කර රජයේ සේවකයන් භෝග වගාවට යොමු කිරීමට මූලික හේතුව ආහාර හිඟය නොව බවත් ඒ සඳහා බලපා ඇති මූලික හේතුව ඉන්ධන හිඟය බවද මහාචාර්ය පවසනවා.

කුස්සියේ ප්‍රශ්නය ඇඟට දැනෙන විට රජය කිවුවත් නැතත් මිනිස්සු මේ ආකාරයේ විකල්පවලට යන බවත් පුළුවන් විදියට මල් පෝචියක හෝ ආහාර භෝගයක් වගා කරගන්න පෙළඹීම හොඳ ප්‍රවණතාවක් බවද ඇය සඳහන් කළා.

භෝග වගාව සඳහා යොමු වීම තුළින් බලාපොරොත්තු වන්නේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම බවත් ඒ සඳහා රාජ්‍ය මට්මින් අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගත යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

එම පුවත්පත සමඟ සාකච්ජාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් මෙසේ සඳහන් කළා,

“ආහාර හිඟය සමඟ බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබෙන්නේ පොහොර ගැනයි. එහෙත් බීජ ගැටලුව අමතක වෙලා. අප ආහාරයට ගන්නා කැරට්, රාබු, නෝකෝල්, බීට්රූට් වැනි උඩරට එළවළු බො‍හොමයක බීජ විදේශ රටවලින් ආනයනය කරන දේ. වට්ටක්කා, මෑ කරල් වගේ දේශීය බීජ වර්ග අප අතර තිබෙනවා. මේ වන විට අප දේශිය බීජවලින් ඈත් වෙලා දෙමුහුන් බීජ භාවිතයට යොමුව සිටිනවා. බුෂිටා මෑ, ගස් බෝංචි වගේ විදේශීය බීජ වර්ග ප්‍රචලිතව භාවිත වෙනවා. මේ නිසා අපේ දේශීය බීජ භාවිතය දුර්මුඛව තිබෙනවා.‍ මේ නිසා බීජ අවශ්‍යතාව ගැනත් අපට මේ වන විට ගැටලුවක් පැන නැඟී තිබනවා. කොපමණ බීජ වර්ග අප සතුව තිබේද? යන්න ගණනය කළ යුතුයි. අප ජනතාව වගා කිරීමට පොලඹවන අතර, එයට නිසි මඟ පෙන්වීමක් කළ යුතුයි. එහෙම නැති වුණොත් සීමිත බීජ ප්‍රමාණයෙන් සමහරක් නාස්ති වෙන්න පුළුවන්. මේ බීජ හරියාකාරව වගා කරන ආකාරය ගැන අලුතින් වගාවට එක්වන පිරිස් දැනුම්වත් කළ යුතුයි.

සමහර බීජ වැඩෙන්න සුදුසු වටපිටාවක් අවශ්‍යයි. සුදුසු කාලගුණික, දේශගුණික තත්ත්වයන් තිබිය යුතුයි. පාරම්පරික ගොවීන්ට මේ දැනුම තිබනවා. නාගරික හා අර්ධනාගරික ප්‍රදේශවල ඉන්න පිරිස්වලට ‍මේ අවබෝධය අඩුයි. ඒ නිසා ඔවුන්ට උපදෙස් දෙන ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ වැඩ පිළිවෙළ නියාමනය කෙරෙනෙ ක්‍රමයක් අවශ්‍යයි. දැන් අපට අත්හදා බැලීම් කරන්න කාලයක් හෝ සම්පත් ඉතිරිව නැහැ. ඒ නිසා තිබෙන සම්පත් උපරිම ඵලදායී ආකාරයට භාවිත කළ යුතුයි. ජනතාව සමාජ ජාලවල සංවිධානය වෙමින් වගාව ගැන උපදෙස් හා බීජ බෙදා ගන්නා අයුරු අප දකිනවා. මේ කටයුත්ත යන්ත්‍රණයකට අනුව, පාලනයක් සහිතව ආණ්ඩුවට කරන්න පුළුවන්. ඒ සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුයි.”