hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 03, පෙ.ව. 2:05



තමන්ට සහ සිය බිරිඳට ඇමරිකාවට ඇතුළුවීමට වළක්වාලමින් පනවා ඇති තහනමට අදාලව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත ලිපියක් යොමුකරමිනුයි හිටපු නාවික හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ.

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමති අශෝකා කරන්නාගොඩ මහතාට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම වළක්වාලමින් එරට රජය විසින් තහනමක් පනවනු ලැබුවේ පසුගිය 27 වනදායි.

ඒ ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ උල්ලංඝනය ඇති බව කියන මානව හිමිකම් සමබන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද චෝදනා විශ්වසනීය බව පවසමින්.

අදාළ නියෝගය නියමිත ක්‍රියාපටිපාටිය මගින් ගනු ලැබූවක් බවට නෛතිකමය වශයෙන් ඉදිරිපත්කර ඇතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊට අදාළ චෝදනා පිළිබඳ තමා වෙත කිසිදු දැනුම්දීමක් කර නොමැති බවත් එම ලිපියෙහි සඳහන්.

එමෙන්ම එම චෝදනා පිළිබඳ සිය නිරීක්ෂණ විමසා නොමැති බවටත් හිටපු නාවික හමුදාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එමගින් ලෝකයේ සියලු රජයන් විසින් පිළිගනු ලබන ස්වභාවික යුක්තියේ මූලධර්මය උල්ලංඝණය කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම වසර 14 ක් පුරාවට තමා හෝ බිරිඳ ඇමරිකානු වීසා අයදුම්කර නොමැති බවද හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා එම ලිපියේ සඳහන් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව තමාට එරෙහිව ඇමරිකානු තානාපතිනිය එල්ලකර ඇති චෝදනා පිළි නොගන්නා බවයි හිටපු නාවික හමුදාපතිවරයා ලිපියෙහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙම චෝදනා හරහා තමන් වසර 45 ක රාජ්‍ය සේවය තුළ ගොඩ නගාගත් ගෞරවයට සහ කීර්තිනාමයට බලපෑමක් එල්ලවී ඇති බැවින් එලෙස සිය මානව හිමිකම් කඩවීම මත නීතිමය සහනයක් බලාපොරොත්තු වන බව ද හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඇමරිකානු තානාපතිවරියට යොමුකළ ලිපියේ දක්වා තිබෙනවා.