hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 27, ප.ව. 12:57



වතුර ලබාදී මාස හතකට  පසුව  රුපියල් විසි පන්දහසකට අධික වතුර බිලක් එකවර ලැබීම දැක  ජල පාරිභෝගිකයෝ අන්ද මන්ද වූ පුවතක් මොරගොල්ලාගම, පතිරැන්නේගම ගම් පෙදෙසින් අසන්නට ලැබෙනවා.

ඒ සම්බන්ධව ගමේ පවුල් සියයක් පමණ අතරින් බොහොමයක් මෙසේ අදහස් දැක්වූවා.

“වැව්ගම් පුබුදුව යටතේ අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසම මුල් කරගෙන ලියසරණී” ප්‍රජා මූල සංවිධානය නමින් ජලය බෙදා දීම සඳහා රතු කුරුස සංවිධානය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. වැඩේ ආරම්භයේදීම ගමේ හැමෝම වතුර ගත්තේ රුපියල් 12,750ක පමණ මුදලක්  ජල සම්පත් මණ්ඩලයට ගෙවලා. 2021 වසරේ අවසන් කරන්නට තිබුණු මේ ව්‍යාපෘතිය අවසන් වුණේ ගිය අවුරුද්දේ ජූලි මාසයේදී. ඒ මාසයේදීම මීටර් සවි කෙරුවා. ජල සම්පත් මණ්ඩලය වතුර දුන්නා. බිල් නැතිව අපිත් වතුර පාවිච්චි කෙරුවා.

අවසානයේ වතුර බිල මාස හතකට පමණ පසුව ගිය සතියේදී  ආවා. ඒක දැක්කාම තමයි තරු පෙනුණේ. වතුර මීටරයේ එක් ඒකයකට අය කරන මුදල කීයද. ඒකකයකට අනුව ජල බිල වැඩි වෙන්නේ කොහොමද කියලා කිසිම දැනුවත් කිරීමක් කවුරුත් කෙරුවේ නැහැ. එහෙම තිබියදී හැමෝටම එකවර වතුර බිල් ආවා. හැමෝටම ආව වතුර බිල් රුපියල් 25,000ට වැඩියි. සමහර අයට 29,000ක පමණ වතුර බිල් පවා ඇවිත් තිබෙනවා. එවැනි මුදලක් වතුරට දුන්නාම වතුර බිබීද අපිට ඉන්න කියන්නේ. කෑමට, විදුලි බිල්, දරුවන්ගේ ඉගෙනීම් ඇතුළු අනිත් දැවෙන ප්‍රශ්නත් අපිට තියෙනවා. ඒ හින්දා වතුර කැපුවත් මේ වතුර බිල් නම් ගෙවන්න බැරි වෙයි.” ඔවුහු දැඩි කනස්සල්ලෙන් යුතුව පැවසුවා.