hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 14, ප.ව. 10:29



දිවයිනේ නිරිතදිග කොටසට ඇද හැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ රැසක මේ වනවිට ජලගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බවයි.

දින කිහිපයක සිට බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට තද වැසි ඇද හැලෙමින් පවතිනවා.

එමෙන්ම ඊයේ දිනයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇතිවී තිබෙනවා.

ගතවු පැය 24 තුළ වැඩිම වර්ෂාපතය වාර්තා වූයේ කළුතර පාලින්දනුවර ප්‍රදේශයෙන්. එය මිලිමීටර 115ක්.

ඒ අනුව කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර ඉන් නිකුත් වන ජල ධාරිතාව තත්ත්පරයට ඝන මීටර් 170ක්.

ඒ හේතුවෙන් බුලත්සිංහල, මෝල්කාව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම පාලින්දනුවර මාර්ග රැසක් සහ නිවාස කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමග කළුගඟ පිටාර මට්ටමට පැමිණිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළේ, පවුල් 372ක පුද්ගලයින් 1,492 ක් අවතැන් වී ඇති අතර අර්ධ නිවාස හානි 63ක් සහ වෙනත් දේපළ හානි 03ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පසුගිය 12 වැනිදා ඇති වූ තද සුළං තත්ත්වයත් සමග ගසක අත්තක් කඩා වැටීමෙන් කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයෙක් මරණයට පත්ව තිබෙනවා.

ගිං ගඟේ ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය නිසා හිනිදුම, උඩුගම, මාපලගම ආදී ප්‍රදේශවලත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

ගිං ගඟේ පහළ කොටසේ පිහිටා ඇති වක්වැල්ල පාලම, අපද්‍රව්‍ය එක්රැස් වීම නිසා අවහිර වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ ද පිටාර ගලමින් පවතිනවා.

මේ හේතුවෙන් අකුරැස්ස, දෙහිගස්ප, බෝපාගොඩ, පෝරතොට, තලහගම, මාකදුර ආදී ප්‍රදේශයන්හි ජනතාව පීඩාවට පත්වී සිටිනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලටත් දින කිහිපයක සිට තද වැසි පතිත වෙමින් තිබෙනවා.

මේ හේතුවෙන් ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.