hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 24, පෙ.ව. 8:53



මේ සිංහල බෞද්ධ රටේ ඓතිහාසික සිද්ධස්ථානයක්, බෝධියක් අසල පිරිතක් දේශනා කොට ආගමික වතාවත් පැවැත්වීමට පවා නොහැකි ආකාරයට රට පත්වීම පිළිබඳව බරපතළ කනගාටුවක් දැනෙන බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසනවා.

සියම් රටේ උපාලි භික්ෂුන් වහන්සේ විසින් නැවත උපසම්පදාව මෙරට පිහිටුවා වසර 270ක් සපිරීම නිමිති කොටගෙන ත්‍රිකුණාමලේ සිට මහනුවර දක්වා පාගමනින් පැමිණි සියම් භික්ෂුන් වහන්සේ කණ්ඩායම පිළිගැනීමේ අවස්ථාවට ඊයේ (23) සහභාගි වූ නාහිමියෝ ඉහත අදහස් පළ කළා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ උපාලි නාහිමියෝ මෙසේද සඳහන් කළා.

“මීට වසර 270කට පෙර සියම් රටේ උපාලි මහ තෙර දින ගණනාවක මුහුදු ගමනකින් පසු ත්‍රිකුණාමලේ ප්‍රදේශයෙන් ලංකාවට ගොඩ බැස පාගමනින් මහනුවර කරා වැඩම කළා. ඒ උදාර ආගමික කටයුතු සිහිපත් කිරීම  සඳහා සියම් රටෙන් පැමිණි භික්ෂුන් වහන්සේ ඇතුළු කණ්ඩායම එදා උපාලි මහ තෙරණුවන් වහන්සේ වැඩම කළ ස්ථානය වෙතම මුහුදු යාත්‍රාවෙන් වැඩම කොට එම ස්ථානයේ මේ වන විට පවතින ඓතිහාසික බෝධීන් වහන්සේ සිවුනම අසල පිරිතක් දේශනා කිරීමටයි සූදානම් වුණේ. නමුත් ඒ අවස්ථාවේ අදෘශ්‍යමාන බලවේගයකින් මෙහෙයවන ඉතා සුළු දමිළ ජන කණ්ඩායමක් පැමිණ ඊට විරෝධය දැක්වූවා. මේ අවස්ථාවේ සිංහල බෞද්ධ විශාල පිරිසක් කෝපයට පත්ව එම දමිළ කණ්ඩායම සිටින තැනට යෑමට උත්සාහ කළත් ආරක්ෂක අංශ මැදිහත්ව දැඩි වෙහෙසක් දරා මෙම තත්ත්වය සමථයකට පත් කළා. එසේ නැතිනම් එතැන මහා විනාශයක් වෙන්න තිබුණා.

මේවා ඇතැම් මාධ්‍යවල වැරැදියට පවා පළ කරනවා. මෙවන් තත්ත්වයක් ඇති වුණේ ඇයි කියන එක ගැන අපි කල්පනා කළ යුතුයි. මේ සිංහල බෞද්ධ රටේ බෝධියක්, පන්සලක් අසල පිරිතක් කියන්න ආගමික වතාවත් කරන්න අපිට හැකියාවක් නොමැතිවීම ඉතාමත් කනගාටුදායක කරුණක්. අපි එතැනින් තමයි පා ගමන පටන් ගන්න හිටියේ. නමුත් තත්ත්වය පිළිබඳව කල්පනා කරලා ත්‍රිකුණාමලේ ජයසුමනාරාම විහාරස්ථානයෙන් පා ගමන පටන් ගත්තා. මේ සියම් රටේ භික්ෂුන් වහන්සේ අපේ රටට වැඩම කරලා මේ පා ගමන ආවේ කාගෙවත් බලකිරීමක් නිසා නෙවෙයි. දෙරටේ මැදිහත්වීම නිසාවත් නෙවෙයි. මේක බුද්ධාගමේ අභිවෘද්ධිය උදෙසාම උන්වහන්සේ ගත් තීරණයක්.  ඉතින් එහෙම උත්සාහයකට අවහිර කිරීම අපිට කිසිසේත් පිළිගන්න බෑ. සිංහල බෞද්ධ ජනතාව කියන්නේ විශාල වශයෙන් ඉවසීම පුරුදු පුහුණු කළ ජාතියක්. මේ වන විට අපි දකිනවා පෙනෙනවා බෞද්ධාගම විනාශ කිරීමට විවිධ බලවේග දරන උත්සාහයන්. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කළ පුද්ගලයන් පසුපස ඉන්නේ කවුද කියලා සොයා බලා අවශ්‍ය කටයුතු කරන එක අදාළ අංශවල වගකීමක්.” යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූවා .