hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 26, ප.ව. 2:09



හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකොට රටින් පැන්නීමේ කුමන්ත්‍රණයේ මහා මොලකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමක් දේශපාලනික වශයෙන් නැවතත් රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක  නිරතව සිටින බවද අපේ ජනබල පක්ෂයේ  හිටපු මහ ලේකම්, කාරක සභික වේදිනිගම විමලතිස්ස හිමියෝ පවසනවා.

මහනුවරදී අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විමලතිස්ස හිමියෝ මේ බව ප්‍රකාශ කළා.

මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු ඇමතිවරයෙකු, මන්ත්‍රීවරු කීපදෙනෙක් හා ඉහළම පොලිස් නිලධාරියෙකු සම්බන්ධ බවද උන්වහන්සේ සඳහන් කළා.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මහ පොළොවේ පැළ කළ නොහැකි ප්‍රායෝගික නොවන දේශීය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු අසීරුතාවට පත්කළ බවත් මෙම කුමන්ත්‍රණය අවසානයේ ජන අප්‍රසාදයට පත් ඒ මහතාට ජනපති ධූරය පමණක් නොව රටද අත්හැර යාමට සිදුවූ බවත් උන්වහන්සේ පැවසුවා.

රතන හිමි මේ වන විට වර්තමාන ජනපතිට කිට්ටු වීමට උත්සහ කරමින් සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී රට අස්ථාවර කිරීමට උත්සහ කරන ත්‍රස්තවාදීන්, අන්තවාදීන් නිවැරදිව හඳුනා නොගතහොත් නව ජනපතිවරයාටද රට පවතින තත්ත්වයෙන් මුදා ගැනීමට නොහැකි වන බවද උන්වහන්සේ පැවසූවා.

අපේ ජනබල පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා රතන හිමියන් තමන් වහන්සේව පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් හිස් කොළ 10 කට පමණ අත්සන් ලබා ගත් බවත් අවශ්‍ය නම් මැතිවරණ කොමසාරිස් සතුව තිබෙන ලියකියවිලි පරීක්ෂා කර රතන හිමි හොර පාරෙන් පාර්ලිමේන්තු පැමිණි ආකාරය සොයා ගැනීමට හැකි බවත් විමලතිස්ස හිමියෝ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවට ගිය පසු රතන හිමියන් පක්ෂයට ඡන්දය දුන් ජනතාව අමතක කළ බවත් පාක්ෂිකයින්ට වතුර පොදක් නොදෙන උන්වහන්සේ රටේ ජනතාවට සේවය කරයිද යන්න අමුතුවෙන් කීමට අවශ්‍ය නැතැයිද අපේ ජනබල පක්ෂයේ කාරක සභික හිමියෝ පැවසූවා.

මේ වන විට රතන හිමි අපේ ජනබල පක්ෂය බේදකර තිබෙන බවත් ඥානසාර හිමිට මන්ත්‍රී ධූරය ලබා දීමට එකඟ වූ උන්වහන්සේ මේ වන විට පොරොන්දු කඩ කරමින් මන්ත්‍රී ධූරයේ රැඳී සිටින බවත්  විමලතිස්ස හිමියෝ ප්‍රකාශ කළා.                                                                 

මේ රට අරාජික කිරීමේ විදෙස් කුමන්ත්‍රණයක දේශීය නියෝජිතයා අතුරලියේ රතන හිමි බවට සැකයක් තමන්ට පවතින බවත් වගකීමෙන් යුතුව පවසන මේ කරුණු ඔප්පු කර පෙන්වීමට ඕනෑම අවස්ථාවක, ඕනෑම වේදිකාවක  සුදානම් බවත් වේදිනිගම විමලතිස්ස හිමියෝ වැඩිදුරටත් පැවසුවා.

https://youtu.be/2UulsKBJXgo

මහනුවර – කේ .එල් .සුරවීර