hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 15, පෙ.ව. 10:23



වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (15) යෙදී තිබෙනවා.

පොහොය ලැබීම අද (15) දහවල් 12.46 ට සිදුවන අතර පොහොය ගෙවෙන්නේ හෙට (16) උදෑසන 9.43 ටය.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබනවා.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙන්.

බුදුරාජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනක ය.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදි කිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනක ය.

රට තුළ ආර්ථික අර්බුදයක් ඇතත්, තමන්ට හැකි අයුරින් සම්බුදු තෙමඟුල සැමරීමට බොදු ජනතාව සූදානම් වන අයුරු රටපුරා දක්නට ලැබෙනවා.

පසුගිය දෙවසරෙහි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වල සිටම වෙසක් දින ආගමික වතාවත්වල නිරත වූ බොදු ජනතාවට මෙවර එම වසංගත තත්වය පහවයාමත් සමඟ වෙහෙර විහාරස්ථානයන්ට ගොස් ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඉකුත් 2019 වසරේ දී දපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටයි.

ඒ අනුව මෙවර ජනතාවට නිදහසේ වෙසක් දින ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිවන්නේ තෙවරසකට පසුවය.

වසර තුනකට පසු මෙවර රට පුරා විවිධ ස්ථානවල තොරණ කිහිපයක් ද ඉදිකර ඇති අතර, පිටකොටුව බෝධිය අසල, මහරගම නගරයේ සහ තොටළඟ ඉදිවන තොරණ ද මෙවර ඉදිකර තිබෙනවා.

රටපුරා විවිධ ස්ථානවල මෙවර දර්ශනීය පහන්කූඩු සහ වෙසක් කලාප ද ඉදි කර තිබෙන බවයි දක්නට ලැබුණේ.

ජනතාවට ඇති ආර්ථික ගැටලු නිසාදෝ පෙර වසරවලට සාපේක්‍ෂව මෙවර දන්සැල් සංවිධානය කර ඇත්තේ ඉතා අඩුවෙන් බවයි පෙනී යන්නේ.