hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 25, ප.ව. 7:32



යාපනයේ බාලිකා විද්‍යාල සියල්ලකම ශිෂ්‍යාවන්ගේ හා දෙමව්පියන්ගේ දුරකතන අංක ලබා ගෙන වහාම එම පාසල් සදහා වට්ස්ඇප් සමූහයන් නිර්මාණය කරන ලෙසට යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් මහතා සියළුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

එම දැනුම් දීම යාපනයේ අධ්‍යාපන බලධාරීන් වෙතද විදුහල්පතිවරුන් වෙතද මේ වන විට දැනුම් දී ඇති බව සඳහන්.

මෙම වට්ස් ඇප් සමූහයන් පන්තිබාර ගුරුවරු ලවා මෙහෙයවිය යුතු බවත් ඒ ඒ බාලිකා පාසල් අයත් පොලිස් ස්ථාන මගින් නිරන්තරයෙන් එම පාසල් හා වට්ස්ඇප් සමූහ සමග සම්බන්ධකම් පවත්වා ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කල යුතු බව නියෝජ්‍ය පොලිස්පත්වරයා දැනුම් දී  තිබෙනවා.

යාපනයේ බාලිකා පාසල් කීපයකම ශිෂ්‍යාවන්ට බාහිර පුද්ගලයින්ගෙන් සිදුව ඇති අසාධාරණකම් හා අකටයුතු සිදුවීම් රැසකින් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම ක්‍රමවේදයට අනුවම යාපනයේ බාලිකා පාසල් වල ශිෂ්‍යාවන් පාසලට පැමිණෙන ආකාරය ගැන අවධානය යොමු කොට එම ශිෂ්‍යාවන් රැගෙන එන රියදුරන්ගේ විස්තරද සටහන් කර ගන්නා ලෙස සියළුම පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබෙන බව සඳහන්.

ශිෂ්‍යාවන් පාසලට නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳවද පාසල නිමවී නිවසට යාමට ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳවද තොරතුරු සටහන් විය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පෙන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.