hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 11, පෙ.ව. 4:33



විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ඒකරාශි කරගනිමින් විශේෂ රෝද පුටු සන්දර්ශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ශ්‍රී සුමංගල අනුස්මරණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.

“සිනහවක අභිමන්” යන මැයෙන් සංවිධානය කර තිබූ මෙම රෝද පුටු සන්දර්ශනය දෙපා ආබාධ පුද්ගලයන් විසින් පැවැත්වීම විශේෂත්වයක් වන අතර එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලියෝ සමාජය විසින් සංවිධානය කර තිබුණා.

ව්‍යාපෘති සම්බන්ධීකාරක ජනක රත්නායකගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සහ දෙපා ආබාධ සහිත පුද්ගලයන් ඒකරාශි කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබුණා.

ශ්‍රී ලංකාවේ පළමු වරට රෝද පුටු නර්තන සංගමයක් පිහිටුවා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් කරළියට රැගෙන ඒම, ඔවුන්ගේ හැකියාවන් අනුව ආර්ථික වශයෙන් ආබාධ සහිත පුද්ගලයන් සවිබලගැන්වීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් බවද හෙතෙම සඳහන් කළා.

ඉදිරියේදී මෙම නර්තන කණ්ඩායම දෙස්, විදෙස් සංචාරවලට සහභාගි කරවමින් විවිධ ප්‍රසංග සඳහාද ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම විශේෂ ව්‍යාපෘති සඳහා සුමිත් චින්තක, අනූෂා සාගරි, දිනුක සඳරුවන්, ආසිරි ගයාන්, මල්ෂා, සෙනවිරාජ, ලසන්ත චන්දිමාල්, සිසිර කුමාර, ශෂිකා ප්‍රියදර්ශී, නදීෂා එරන්දි, පබසරා රාමවික්‍රම ඇතුළු සියලුමදෙනාගේ සහයෝගය හා මැදිහත්වීම මත මෙම අපූරු රෝද පුටු නර්තනය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණු බවද රෝද පුටු නර්තන සංගමය සඳහන් කරනවා.