hit counter

2026 ජූලි මස 04 වන සෙනසුරාදා

2026 ජූලි 05, පෙ.ව. 12:25



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී සිය පුත්‍රයාව ‘මිහින් ලංකා’ ගුවන් සමාගමට ඇතුළත් කළේ නිසි විභාග පටිපාටියකින්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, අන් අයගේ දූෂණ වංචා ගැන කතා කරන ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සම්බන්ධ මෙවැනි පත්වීම් පිළිබඳව ද රටට හෙළි කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා, ජනාධිපතිවරයා මීට පෙර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එල්ල කළ චෝදනා සිහිපත් කළේය.

“එදා අනුර දිසානායක මහත්තයා කිව්වේ මේවා නාමල් රාජපක්ෂගේ ලිස්ට් එකට දෙන පත්වීම් කියලා. එතකොට එයාගේ පුතා මිහින් එයාර් එකට ගියේ කොහොමද? ඒකට විභාගයක් තිබ්බද? කුසලතාවය බැලුවද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මේවා පේන්නේ නැද්ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ මිහින් ලංකා සමාගම වසා දමන විට, එහි සේවය කළ සුදුසුකම් ලත් බොහෝ පිරිසකට රැකියා අහිමි වූ බවත්, එහෙත් ජනාධිපතිවරයාගේ පුත්‍රයා ඇතුළු සුළු පිරිසක් පමණක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට (SriLankan Airlines) අනුයුක්ත කරගත් බවත් වීරවංශ මහතා මෙහිදී අනාවරණය කළේය.

“වැඩි සුදුසුකම් තිබුණු අයට වන්දි දීලා ගෙදර යවද්දී, ජනාධිපතිගේ පුතාට විතරක් ශ්‍රී ලංකන් එකට යන්න ‘පොට්ට චාන්ස්’ එකක් ලැබුණේ කොහොමද?” යැයි ඔහු විමසා සිටියේය.

වත්මන් රජය ‘නීතිය සැමට සමානයි’ යනුවෙන් පවසමින් විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කරගනිමින් මර්දනයක් දියත් කර ඇති බවට ද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.

මෙම ක්‍රියාවලිය රජය සිය අසාර්ථකත්වය වසා ගැනීමට මෙවැනි නාට්‍ය රඟ දක්වන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.