hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 07, පෙ.ව. 7:06



පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා වලිගෙ පාගාගෙන දාන ගොංපාට්වලට තවදුරටත් මේ රටේ සමෘද්ධි නිලධාරීහූ නොරැවටෙන බවත් මේ වන විට ඔහු ප්‍රතික්ෂේප වී ඇති බවත් සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.ඒ.අයි.එම්.බී.අබේසිංහ මහතා පවසනවා.

මහනුවරදී ඊයේ (06) මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කරන්නේ කවුද කියා ජගත් කුමාර මන්ත්‍රීවරයාගෙන් තම සංගමය වශයෙන් ප්‍රශ්න කරන බවත් මේ සම්බන්ධ තොරතුරු තමන් සතුව පවතින බව වගකීමෙන් යුතුව සඳහන් කරන බවත්ය.                                                      

තවදුරටත් අදහස් පළ කළ අබේසිංහ මහතා මෙසේද සඳහන් කළා.

“ජගත් කුමාර මහත්තයා කියනවා අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථකයි කියලා. අපි වගකීමෙන් කියනවා 06 වෙනිදා බහුතරයක් සමෘද්ධි බැංකු රාජකාරි කටයුතු කළේ නෑ කියලා. සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල්වරයාට අපි කියනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථකද නැද්ද කියලා හොයල බලන්න කියලා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා සම්මත වුණු වාර්තාව ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව ගන්න තීරණය මොකක්ද කියලා අපි බලාගෙන ඉන්නවා. ජගත් කුමාර මහත්තය කියනවා අපි ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරනවා කියලා. මේ ආණ්ඩුව හැදුවේ අපි. ආණ්ඩුව පෙරළන්න අපිට කිසිම උවමනාවක් නැහැ. පොහොට්ටු පක්ෂය ආරම්භ කරනකොට ප්‍රථමයෙන් හිටපු 26 දෙනාගෙන් කෙනෙක් තමයි මම. අපිට අවශ්‍යය ආණ්ඩු පෙරළන්න නෙවෙයි අමාත්‍ය මණ්ඩලයෙන් සම්මත වූ සමෘද්ධි බැංකු සේවක සංයුතිය හා දීමනා ලබා ගැනීම පමණයි. මේ ඉල්ලීම් ලැබෙන තුරු අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩවම සිදු කරනවා.”

මහනුවර – කමල් සුරවීර