hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 11:40



මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම නිවේදනයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු අත්සන් තබා තිබෙනවා.

එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා – චීන සබඳතා රැකගනිමු!

ශ්‍රී ලංකාව අද පවතින ගැඹුරු ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය තුළ විදේශ ප්‍රතිපත්තිය සංවේදීව හා නිවැරදිව කළමනාකරණය කිරීම කොපමණ වැදගත් ද, යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

2022 අගෝස්තු 05 වැනිදා විදේශ අමාත්‍යාංශය විසින් කොළඹ චීන තානාපති කාර්යාලය වෙත යැවුණු ලිපියක් මගින් දන්වා තිබුණේ,

01. චීනයේ යුආන් වැංග් 05 (Yuan Wang 5) නැමති පර්යේෂණ නෞකාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා  ගැනීමට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසරය 2022 ජූලි 12 වැනිදා ලබාදුන් බවත්,

02. එහෙත්, මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන තුරු හම්බන්තොට වරායට එම නැව ඇතුළු  කිරීම පමා කරන ලෙසත් ය.

ශ්‍රී ලංකා වරායන් වෙත මෙන්ම, ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා ද, අන්රටවලට අයත් යුද නෞකා මෙරටට පැමිණෙති. මෙසේ මෙරටට වැඩි වශයෙන්ම පැමිණෙන්නේ එක්සත් ජනපදයට අයත් යුද නෞකාවන්ය. ප්‍රංශයට, ඉන්දියාවට හා වෙනත් රටවලට අයත් නෞකා ද විටින්විට පැමිණ ඇත.

මෙම නෞකාව මගින් ඉන්දියාවේ  සංවේදී තොරතුරු රැස්කරගැනීමට හැකි බැවින් හම්බන්තොට වරායට ඇතුළුවීමට එයට අවසර නොදෙන ලෙස බලපෑම් සිදුව ඇති බව දැන ගන්නට ඇත. එම නැවට ඉන්දියාවේ තොරතුරු රැස්කරගැනීමේ හැකියාව තිබේනම් ඒ සඳහා හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය නොවේ. අනෙක් අතට ජූලි 12 වැනිදා ලබාදුන් අවසරය මත ලංකාවට  යාත්‍රා කරමින් තිබෙන නෞකාවට දැන් හදිසියේ ආපසු හැරෙන්නට ද නොහැක.

චීන නෞකාව මෙරටට පැමිණීම වළක්වන ලෙස ඉල්ලා ඉන්දියානු හා ඇමරිකානු තානාපති අංශ විසින් රජයට දැඩි බලපෑමක් එල්ල කළ බව ද පැවසේ. චීන පර්යේෂණ නෞකාව සමිබන්ධ සිද්ධියේදී පැහැදිලි වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් අපගේ විදේශ ප්‍රතිපත්තියට කොතරම් ඇඟිලි ගසන්නේ ද යන කරුණයි. අපගේ විදේශ ප්‍රතිප්තිය සැකසෙන්නේ රටේ උවමනාවන්ට වඩා විදේශ උවමනාවන්ට බව මින් ගම්‍ය වේ.

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාවයි. ඉන්දියාව සමග මෙන්ම, චීනය සමඟ අනවබෝධතා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ විරසක වීම්, අප රටට ඔරොත්තු නොදේ.

මතුව ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධිරාජ්‍ය විරෝධී සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින අප පක්ෂ එකමුතුව, අන් රටවල් සමඟ පවත්නා සබඳතා, ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින අතර අවසර ලබාදී ඇති පරිදි එම ‍නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය පියවර ගන්නා ‍ලෙස ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා  – චීන ජනතාවන් අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසට රජයට අපි බලකර සිටිමු.

විමල් වීරවංශ – නායක
ජාතික නිදහස් පෙරමුණ

වාසුදේව නානායක්කාර – ප්‍රධාන ලේකම්
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

ජී. වීරසිංහ – ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

තිස්ස විතාරණ – ප්‍රධාන ලේකම්
ලංකා සම සමාජ පක්ෂය

උදය ගම්මන්පිල – නායක
පිවිතුරු හෙළ උරුමය

අසංක නවරත්න – ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා මහජන පක්ෂය

පූජ්‍ය අතුරලියේ රතන හිමි – නායක
විජය ධරණී ජාතික සභාව

ගෙවිඳු කුමාරතුංග  – සභාපති
යුතුකම ජාතික සංවිධානය