hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 13, පෙ.ව. 6:21



මතභේදයට තුඩු දී ඇති චීන අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව ඊයේ (12) දිනයේ හම්බන්තොට වරායට පැමිණිමටයි කලින් සැලසුම් කර තිබුණේ.

මේ වන විට මෙම අධි තාක්ෂණික නෞකාව හම්බන්තොට වරායට නාවික සැතපුම් 600 ක් පමණ දුරින් ජාත්‍යන්තර සාගර කලාපයේ ශ්‍රී ‍ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නෞකාවේ පැමිණීම පිළිබඳව හම්බන්තොට හාබර් මාස්ටර් වරයාගෙන් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කළේ කිසිදු නෞකාවකට තම අවසරයකින් තොරව හම්බන්තොට වරායට ඇතුළු කිරීමට නො හැකි බවයි.

එමෙන් ම මේ වන තෙක් මෙම නෞකාවේ පැමිණීම හම්බන්තොට වරායට තහවුරු කර නොමැති බවත් ඔහු සඳහන් කළා.

මේ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය චීන නෞකාවට පැමිණිම ප්‍රමාද කරන ලෙස දැනුම් දුන්න ද වරායට ඇතුළු වීමට ඉඩ දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් කර නැහැ.

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පසුවන යුවාන් වැන්ග් 5 චින අධි තාක්ෂණික නෞකාව පසුගිය ජූලි මස 14 වෙනි දා චීනයෙන් පිටත් වූ අතර, මේ දක්වා ගමනේ දී කිසිදු අතරමැද වරායකට ඇතුළු වී නැහැ.

ඒ අනුව මෙම නෞකාව මේ වන විට කිසිදු වරායකින් ඉන්ධන හෝ ආහාර නැවත පිරවීමකින් තොරව මේ වනවිට දින 28 ක් අඛණ්ඩව යාත්‍රාකරමින් තිබෙනවා.

පසුගිය ජුනි 28 වනදා චීන තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට මෙම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා පසුගිය ජූලි මස 12 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වුණා.

නමුත් මෙම නෞකාවේ ගමන පිළිබඳව දැඩි අවධානයකින් පසු වූ ඉන්දියාව ශ්‍රී ලංකාවට එල්ල කළ පීඩනය හමුවේ පසුගිය 08 වෙනි දා විදේශ කටයුතු අමාත්‍යාංශය නැවත චීන තානාපති කාර්යාලයට ලිපියක් යොමු කරමින් නැව ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටිය ද ඒ වනවිටත් ඔවුන් ඉන්දියන් සාගරයට ඇතුළු වී අවසන් ව තිබුණා.

මෙම නෞකාවේ ගමනට බාධා කළ ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාල නෞකාවේ ගමන තම රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි.

මේ අතර චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමේදී බාධා කෙරෙන ප්‍රකාශයක් සිදු නොකළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බක්චි මහතා පවසනවා.

මතභේදයට තුඩු දුන් අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව මේ වනවිට ඉන්දියානු සාගර කලාපයේ නාවික සැතපුම් 5 ක වේගයකින් යාත්‍රා කරමින් තිබෙනවා.

එළඹෙන 17 වනදා දක්වා යුවාන් වැන් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර අවසර ලබාදී තිබූ නමුත් පසුව විදේශ අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලය වෙත දැනුම්දී තිබුණේ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන දිනය කල් දමන ලෙසයි.