hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 16, ප.ව. 3:35



චීනයේ නිෂ්පාදිත අභ්‍යවකාශ චන්ද්‍රිකා සහ බැලැස්ටික් මිසයිල ග්‍රාහක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණිම සැලසුම් කර තිබුණේ පසුගිය අගෝස්තු එකොළොස් වනදායි.

නමුත් එම නෞකාවේ ආගමනය නැවත දැනුම් දෙන තුරු කල් දමන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබුණේ ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් විරෝධයක් පළ කර තිබීම නිසයි.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය පසුව නිල වශයෙන් අවසරය ලබා දීමත් සමඟ නෞකාව අද පෙරවරු 8.00ට පමණ හම්බන්තොට වරායට සේන්දු වුණා.

කිලෝමීටර් 750ක ග්‍රාහක පරාසයක් දක්වා දිවෙන යුවාන් වැන්ග් 5 නෞකාවේ දිග මීටර් 222ක් වන අතර පළල මීටර් 22.5ක්.

ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයා ගැනීම සඳහා මෙම නෞකාව එළඹෙන 22 වනදා හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතයි.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සංවිධානය කර තිබූ විශේෂ උත්සවයට මෙරට චීන තානාපති චී – ෂෙන්හොන් මහතාද එක් වුණා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ගෙවිදු කුමාරතුංග, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“යුවාන් වැන්ග් 5 චීන නෞකාව දින තිහක් ධිවරයා මුහුදේ ගත කළා. ඉතින් ඔබ සයුරු රළ මැදින් මෙහි පැමිණීම ගැන සතුටු විය හැකියි. ඔබ පැමිණියේ අපේක්ෂා කළ හැකි මෙන්ම අනපේක්ෂිත බාධක සහ අභියෝග රැසක් පිටු දැකීමෙන් බව කිව යුතුයි. හම්බන්තොට වරාය එක් තීරණයක් – එක් මාවතක් ව්‍යාපෘතිය වැදගත් මංසලකුණක් මෙන්ම මෙය ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සහයෝගීතාවයේ සංකේතයක්. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සහ ස්වයං ශක්ති සංවර්ධනය වැඩිදියුණු කිරීමේ බලගතු යන්ත්‍රයක් ලෙස සැලකිය හැකියි. එමෙන්ම මෙය සිදුවන්නේ චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 65 වන සමරුව සහ රබර් – සහල් ගිවිසුමේ 70 වන සංවත්සරය යෙදී තිබියදී වීම විශේෂත්වයක්. ඉන්දීය සාගරයේ වෙනස් ආකාරයේ රළු කාලගුණයකට මුහුණ දුන්නද යුවාන් වැන්ග් 5 අවසානයේ හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. එයින් පිළිබිඹු වන්නේ ඔබේ දිරිය, හැකියාව සහ ශක්තිය පමණක් නොව විනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරට විහිදුණු, නොමැකෙන අතිමහත් මිත්‍රත්වයයි.”