hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 22, ප.ව. 2:59



රූපවාහිනී අයි  නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී  දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජනමාධ්‍ය,ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ  අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේමතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළා.

“මේ ගැන කරුණු දැක්වීමට අවස්ථාව සලසා දීම ගැන අනුර කුමාර දිසානායකට ස්තුතිවන්ත වෙනවා. මෙම නාලිකාව සමාගමකට  විකිණීමක් හෝ බදු දීමක් හෝ කර නැහැ. ගුවන් කාලය මාස හයකට කුලී පදනම මත මසකට  මිලියන 150ක බදු මුදලකට වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින් සමාගමට පවරලා තියෙනවා. මම කිසිම අනීතික පැවරීමක් සඳහා උපදෙස්දී  නැහැ. මේකට  අනුමැතිය දුන්නේ මට නිත්‍යානුකූල බලයක් ඇති නිසයි. අත්සන් කරන ලද ගිවිසුම සභාගත කරනවා. අවබෝධතා ගිවිසුම දැන් ඔබතුමාලට පරික්ෂා කරන්න පුළුවන්. අපි මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම ජනාධිපතිතුමා කිව්වා මේක කැබිනට් එකට ගෙන්න ඕන එකක් නෙවෙයි කියලා. ව්‍යාපාරයක් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් තියෙනවා කියලා කිව්වා.

රූපවාහිනී සංස්ථාව 2018 ඉඳලා අලාබයි. මේ මුළු කාලයට කෝටි 166ක් අලාබයි. මේ ආයතනයට අන්තිම වෙනකොට විදුලි බිල ගෙවන්න බැහැ. ජාතික රූපවාහිනිය වුණත් විදුලිය කපන එක නතර කරගන්න විදිහක් නෑ. මේ මුදල ලැබුණම මම මුලින්ම කළේ විදුලි බිල ගෙවන එක. මිලියන 75 ම පාවිච්චි කළේ සංස්ථාවට. ඒක නොකළ නම් මේක නතර වෙනවා.  වංචාවක් දූෂණයක් තියෙනවා නම් උසාවි යන්න පුළුවන්.එහෙම දෙයක් වුණා කියල ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: