hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:12



වසර ගණනාවක කැපවීමෙන් සහ මහජන ආශිර්වාදයෙන් ලබාගත් රාජ්‍ය බලය, කිසිදු පෞද්ගලික අරමුණකින් තොරව රට ගොඩනැගීම සඳහා උපරිමයෙන් කැප කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට වසර හතරකට පෙර, එනම් 2021 වසරේදී සිය දේශපාලන ව්‍යාපාරය 3%ක මට්ටමක පවතින විට බොහෝ පිරිස් තමන්ට සමච්චල් කළ බවයි.

එහෙත් එම බාධක හමුවේ නොසැලී, දිවා රෑ නොබලා, පෝස්ටර් ඇලවීමේ සිට සංවිධාන කටයුතු දක්වා ස්වේච්ඡාවෙන් කැප වූ පිරිස් නිසා අද ආණ්ඩු බලය ලබා ගැනීමට හැකි වී ඇති බව ඔහු සිහිපත් කළේය.

“ආණ්ඩුව ගත්තා කියලා වැඩක් නැහැ, දැන් තියෙන්නේ ඊළඟ පියවර. ඒ තමයි මේ රට හදන එක. ඒක අපේ වගකීමක්. එදා ආණ්ඩු බලය ගන්න මහන්සි වුණා වගේම, දැන් රට හදන්න හැමෝම මහන්සි වෙන්න ඕනෙ,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

පැරණි දේශපාලන සංස්කෘතිය සහ වර්තමාන ක්‍රියාකලාපය අතර පවතින වෙනස පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, අතීතයේ මන්ත්‍රීවරුන් පාරක් හැදීමේදී පවා තමන්ට ලැබෙන කොමිස් මුදල පිළිබඳව සිතූ බවයි. එහෙත් වර්තමානයේ සිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් ජනතාව වෙනුවෙන් පාරවල්, ක්‍රීඩාංගණ, රැකියා අවස්ථා සහ කර්මාන්තශාලා ඉල්ලා බලධාරීන් සමඟ තර්ක කරන්නේ කිසිදු පෞද්ගලික ලාභයක් අපේක්ෂාවෙන් නොවන බව ද ඔහු පැවසීය.

රට ගොඩනැගීමෙන් ලැබෙන ප්‍රතිලාභය තමන්ට මෙන්ම තම පවුලට සහ සමස්ත ජාතියටම හිමිවන බවත්, එම යහපත් චේතනාවෙන් යුතුව ඉදිරි වසර පහ තුළ රට නව මාවතකට යොමු කරන බවත් රත්න ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: