hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 28, පෙ.ව. 8:52



ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිපදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මඟින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට එම විස්තර ලබාදීමට කටයුතු කරන බවයි එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

මෙම මඩ ප්‍රචාර දියත් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නම්වලින් පෙනී සිටිමින් පොදුජන පෙරමුණට හා එම පක්ෂ නායකයන්ට මඩ ප්‍රහාර දියත් කිරීමට මෙම පිරිස කටයුතු කරමින් සිටින බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම එළැඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණු පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස බළකායක් ලෙස එක්වී පක්ෂයට පහර දෙන බවද ඒ මහතා අවධාරණය කළා.

විශේෂයෙන්ම පක්ෂයට මෙම මඩ ප්‍රහාර එල්ල කරන පිරිස පසුගියදා පැවැති අරගලයේදීද තම පක්ෂයටත්, නායකයන්ටත් විශාල වශයෙන් අගතියක් වන ලෙස අවලාද හා අපහාස සිදු කළ බවත් තම පක්ෂය විසින් ඔවුන්ව හඳුනාගෙන ඇති අතර කඩිනමින් මෙම පිරිසට නීති මඟින් කටයුතු කිරීමට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ උපදෙස් දුන් බවද පක්ෂ ලේකම්වරයා කීය.

මේ පිළිබඳව මේ වනවිට පක්ෂයට සම්බන්ධ නීතිඥවරුන් කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර එළැඹෙන සතියේදී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇති බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කීවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: