hit counter

2026 නොවැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:14



බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අනුරාධපුර අටමස්ථානය යනු සමස්ත ලෝකයටම අසමසම වූ ඓතිහාසික පූජනීය භූමියක් බවත්, එවන් උතුම් පුදබිමකට සම කළ හැකි වෙනත් කිසිදු ස්ථානයක් ලෝකයේ නොමැති බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කරයි.

කොලොන්නාවේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අනුරාධපුර පූජා භූමිය සම්බන්ධයෙන් මෑතකාලීනව විවිධ පාර්ශ්වයන් විසින් සමාජගත කරන අසත්‍ය ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, රුවන්වැලි මහා සෑය වටා වැටවල් ඉදිකරන බවටත්, රාම කෝවිල් ඉදිකිරීමට යන බවටත් සහ මල් ආසන ගලවා ඉවත් කරන බවටත් ඇතැමුන් පතුරුවා හරින්නේ සම්පූර්ණ සාහසික මුසාවාද බව පෙන්වා දුන්නේය. 

පසුගිය සතියේ තමන් පෞද්ගලිකවම අනුරාධපුරයට ගොස් අදාළ ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ සොයා බැලූ බවත්, රූපවාහිනී වැඩසටහන් ඔස්සේ පවා මේ වන විට එම සත්‍ය තොරතුරු ජනතාවට පැහැදිලි කර දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අනුරාධපුර ඒකාබද්ධ සංරක්ෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 400 කට අධික දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවත්, එය හුදෙක් සිතාගත නොහැකි තරම් විශාල ආයෝජනයක් බවත් අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය. 

යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන අනුරාධපුර පූජනීය නගරයේ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ තමා පැරීසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත ගොස් රාජ්‍යයන් ගණනාවකට කරුණු පහදා දී විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ බව පැවසූ අමාත්‍යවරයා, කිසිදු දෙගිඩියාවකින් තොරව මෙම ජාතික කර්තව්‍යය ඉදිරියට ගෙන යන බවද අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: