hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 28, පෙ.ව. 12:02



රජයේ මැති ඇමති ධූර ලබාගත් පොදුජන පෙරමුණේ සුළු පිරිසක් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයා විය යුතු බවට මත පල කලත් එය පක්ෂයේ මතය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.                                          

මහනුවර, නෙල්ලිගල පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ කෙසේ වුවත් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහි වනුයේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

“ජනාධිපතිතුමන් එක්ක කැබිනට් මණ්ඩලයේ මේ වෙලාවෙ අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් අපේ අයගේ අදහසක් තියෙනවා රනිල් වික්‍රමසිංහ  මහතාටම ඉදිරි ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදිය යුතුයි කියලා. තවත් අය තවත් අයගේ නම් ඉදිරිපත් කරනවා. ඒ ගැන අපි කලබල විය යුතු නෑ. ජනාධිපතිවරණයට දින නියම වුණාම අපේ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්නම්. තම තමන්ගේ පුද්ගලික මතය ඉදිරිපත් කිරීමේ නිදහස අපේ පක්ෂයේ තියෙනවා. වෙන පක්ෂවල  ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළොත් සාමාජිකත්වය පවා තහනම් කරනවනේ.

“ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා හරින් ප්‍රනාන්දු ඇමතිතුමා කියන්න ඇත්තේ විහිළුවට කියලා තමයි මම නම් හිතන්නේ. ඒ ප්‍රකාශයේ පරණතභාවය වගේම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගේ පරණතභාවය පිළිබඳ මෙතන ගැටලුවක් තියෙනවා. පරිණත භාවයක් නෑ කියලා තමයි මට නං හිතෙන්නේ. කෙසේ වුවත් ඒ රජයේ මතය නෙවෙයි. ඒ නිසා වැඩිය ගණන් ගත යුතු නෑ. මාර්ගගත ක්‍රමවේදයේ සුරක්ෂිතභාව පිළිබඳ පනතට කථානායකතුමා අත්සන් කළා කියලා විපක්ෂය දැන් කලබල කරනවා. කථානායකතුමා ඒ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පසුවයි. සංශෝධන සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසන්න කාලය දී තිබුණා. ඊට පසුව දෙන තීරණවලට අනුව කටයුතු කරන්න කථානායකතුමාට හැකියාවක් නෑ කියලයි මම නම් හිතන්නේ. ඒ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා නම් කථානායකතුමාට පුළුවන් නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: