hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 පෙබරවාරි 09, පෙ.ව. 8:38



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හදිසි සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, එය දින දෙකක සංචාරයක් වනු ඇති බවටයි.

මෙය පෞද්ගලික සංචාරයක් වන බවත් එහි දී අයෝධ්‍යාවේ ඉදිකර ඇති රාම කෝවිල නැරඹීමට ඔහු සැලසුම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

අද (09) පස්වරුවේ එම කෝවිලේ පැවැත්වෙන විශේෂ පූජෝත්සවයක් සඳහා ද නාමල් රාජපක්ෂ මහතා සහභාගී වනු ඇති.

නාමල් රාජපක්ෂ මහතා අයෝධ්‍යාවේ සහ දිල්ලියේ රැඳී සිටින කාලය තුළ පෞද්ගලික මට්ටමින් ඉන්දීය ප්‍රභූවරුන් හමුවීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන් ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික හා ආගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා දක්වන උනන්දුව අයෝධ්‍යා රාම් මන්දිරය වෙත සංචාරය කිරීමෙන් පිළිබිඹු වන බවයි පැවසෙන්නේ.

එමඟින් ඔහු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා ගැනීමට ද අපේක්ෂා කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ වනවිට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක යෙදී සිටින පසුබිමකයි නාමල් රාජපක්ෂ මහතාද එරටට යෑමට තීරණය කර ඇත්තේ.

එය පස් දින සංචාරයක් වන අතර එහි අවසන් දිනය අද වන බවයි පැවසෙන්නේ.

මෙවැනි පසුබිමකයි නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පෞද්ගලික සංචාරයක නිරත වීමට කටයුතු කර ඇත්‌තේ.

නාමල් රාජපක්ෂ මහතා ජාතික ජනබලවේගයේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පසුගියදා දැඩි ලෙස විවේචනය කර තිබුණා.

එහි දී ඔහු අවධාරණය කළේ, ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය සහ ගෝලීය ආයෝජකයින් කිහිප දෙනෙකු අහිමි වූ බවයි.

පෙර ඉන්දීය විරෝධී ස්ථාවරයෙන් පසු වූ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඉන්දීයාවේ සංචාරය නිතර වීම සම්බන්ධයෙන් තමන් විශ්මයට පත් වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඔවුන්ගේ ඉන්දීය සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයින්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි .

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ඉන්දීය සංචාරයකට ආරාධනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: