hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 7:56



විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාලද මෙරට ආරම්භ කළ යුතු බවද ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ස්කොට්ලන්ත වැවිලිකරුවෙකු වන ජෝසප් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සදාකාලික සිහිවටනයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ

ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්පති පී. සත්කුමාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ,

ජෝසෆ් ෆ්‍රේසර් රෝහල යනු රෝහලක් පමණක්ම නෙවෙයි, එය අද වන විට වසර සියයක් සම්පූර්ණ කරන ආයතනයක් ද වෙනවා. ෆ්‍රේසර්වරුන් පැවත එන්නේ ස්කොට්ලන්තයේ ප්‍රසිද්ධ පරපුරකින්. එහි සිට තමයි ජෝසෆ් ෆ්‍රේසර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ.

බ්‍රිතාන්‍යයන් මෙරටට තේ කර්මාන්තය හඳුන්වා දුන් අවධියේ ජෝසෆ් ෆ්‍රේසර් මහතා වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළා. ඔහු ශ්‍රී ලංකාවේ පිටකන්ද වතුයාය කේන්ද්‍ර කරගනිමින් වැවිලි කර්මාන්තයේ නියැලුනා. අවසානයේ ඔහු මෙරටදීම මිය ගියා.

ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ අනෙකුත් වැවිලිකරුවන් අතර තිබෙන වෙනස වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ යම් සළකුණක් තබා යාමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාව ඔහු සේවය කළ රට වගේම ශ්‍රි ලංකාව ගොඩනැඟීමට ද ඔහු දායක වී තිබෙනවා.

මෙරට වැවිලි කර්මාන්තයේ නිරතව ලාභ උපයාගත් අනෙකුත් සිය ගණනක් වැවිලිකරුවන් අතර ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ පවුලේ අය මේ රටට යමක් ඉතිරි කර යන්නට කටයුතු කළා. ඒ තමයි මෙම ජෝසෆ් ෆ්‍රේසර් රෝහල. මෙම රෝහල ආරම්භ කරන අවධියේ මෙම ප්‍රදේශය දියුණු තත්ත්වයක තිබුණේ නැහැ.

මගේ සීයා මගේ නැන්දට සිරිපා පාරේ ඉඩමක් අරන් දී තිබුණා. ඒ නිසා මගේ අම්මා නිතරම එම ප්‍රදේශයට යනවා. එදා මෙම පළාත තනිකරම හිස් භූමියක් ලෙසයි පැවතියේ. වැඩිම වුණොත් මෙම මාර්ගයේ ඉදිරියට යන විට නිවාස දෙක තුනක් පමණයි දකින්න ලැබුණේ. එසේ වූවත් එදා මෙම රෝහල සෑම කෙනෙකුගේම අවධානයට ලක් වුණා. මෙම රෝහල මෙරට කාන්තා පරපුරට ලබා දී අති තිළිණයක් ලෙස සැලකිය හැකියි. එසේම මෙම රෝහල පිළිබඳ අප සියලුදෙනා ආඩම්බර විය යුතුයි.

මේ ආයතනය හොඳින් නඩත්තු කෙරෙනවා. සුමල් පෙරේරා මහතා නයින්වෙල්ස් රෝහලෙන් මෙම කටයුතු ආරම්භ කර දැන් මේ දක්වා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. අපට ඇති දේ සහ අපට කළ හැකි දේ පිළිබඳ එය හොඳම උදාහරණයක් බව කිවයුතුයි.

ශ්‍රී ලංකාවේ ඇති මෙවැනි රෝහල්වලට ඉදිරියේ දී මෙරට ජනතාව වෙනුවෙන් පමණක් නොව විදේශිකයන් වෙනුවෙන් ද අවශ්‍ය සේවා සැපයීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම රෝහල දෙස බැලීමේ දී මෙය රෝහලක් ද හෝටලයක් ද කියා සිතා ගැනීම අපහසුයි. රෝහලක සේවාවන් සිදු විය යුත්තේ මේ ආකාරයටයි. එම සේවාවන් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යා යුතුයි. විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ සෞඛ්‍ය සේවා ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. එම ප්‍රමිති මට්ටම සඳහා මෙම රෝහල හොඳ උදාහරණයක් බව කිවහැකියි.

අපේ රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. මෙරට රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් හා රජයේ රෝහල් ලෙස වෙන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු විශාල පිරිසක් දැන් රට හැර යමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුළ අපට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුව තිබෙනවා. ඒඅනුව ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) අප මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ සහ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර වෛද්‍යවරුන් බිහි කිරීමට අනුගමනය කළ ක්‍රමය එයයි. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ.

ඇත්ත වශයෙන්ම මෙම දිනවල මමත් වෛද්‍යවරයෙක් වගේ කියා මට දැනෙනවා. මරණයට ආසන්නව සිටින රෝගියෙකු ඉන් මුදවා ගැනීමට මට සිදුව තිබෙනවා. ඒ වගේම මම තවමත් එම රෝගියාට සාත්තු කරමින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. මට අවස්ථාවක් ලැබුණොත් මම ඔහුව ජෝසප් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල වෙත එවනවා. නමුත් අවාසනාවකට, මට ඔහුව භාණ්ඩාගාරයේ තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුව තිබෙනවා.

අප සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතුව තිබෙනවා. ඒ තුළ පුද්ගලික ව්‍යවසායන්ට ද දියුණු වී ඉදිරියට යා හැකියි. එසේ නොමැතිව රටක් දියුණු කිරීමට හැකියාවක් නැහැ. එසේම රටකට දියුණු වෙන්නත් බැහැ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ වැවීමෙන් ඔබ්බට ගිය පුද්ගලයෙක් ලෙස ජෝසෆ් ෆ්‍රේසර් මහතා හඳුන්වාදිය හැකියි. ඒ මොහොතේ ශ්‍රී ලංකාවේ කෝපි සඳහා පැවති ඉල්ලුම අඩු වී තේ කර්මාන්තය ඉදිරියට පැමිණෙමින් තිබුණා. ඒ තත්ත්වය තුළ ඔහු සාර්ථක වී රටට ද යමක් ඉතිරි කර දුන්නා. දැන්, සුමල් පෙරේරා වැනි අය සමඟ එක්ව අපි සියලු දෙනා මෙම ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කර ගනිමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: